Home » විල්පත්තුව මැදින් සෆාරි රථවලින් පුක්කුලමට ඡන්ද පෙට්ටි

විල්පත්තුව මැදින් සෆාරි රථවලින් පුක්කුලමට ඡන්ද පෙට්ටි

by sachintha
May 6, 2025 1:31 am 0 comment

විල්පත්තුව ජාතික වන උද්‍යානය අවසන් කෙළවරේ පිහිටි පුක්කුලම ධීවර ගම්මානයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා අදාළ ඡන්ද පෙට්ටි සෆාරි ජීප් රථ මඟින් රැගෙන යනු ලැබූ බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත් මහතා පැවසීය.

ඔහු කියා සිටියේ, එම ඡන්ද පෙට්ටි පුත්තලම ඇන්ඩෘ ජාතික පාසලේ සිට පොලිස් ආරක්ෂාව යටතේ වෑන් රථවලින් එළුවන්කුලම කලාඔය ක්‍රොස්වේ පාලම අසලට රැගෙන ගොස් ඉන්පසුව කලාඔය හරහා ඉදිකර ඇති එල්ලෙන පාලම මතින් එළුවන්කුලම වනජීවී කාර්යාලයට රැගෙන ගිය බවයි. එතැන් සිට ඡන්ද පෙට්ටි ප්‍ර‍වාහනය කළේ විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් සෆාරි ජීප් රථවලින් බවද ඒ මහතා කීය. මේ සඳහා පොලිස් නිලධාරීන් හා සිවිල් ආරක්ෂක නිලධාරීන්ගෙන් සැදුම්ලත් මැතිවරණ රාජකාරිවලට යොදවා සිටි නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

පුක්කුලම ධීවර ගම්මානයට එළුවන්කුලම වනජීවී කාර්යාලය අසල සිට සැතපුම් 30කට අධික දුරක් මහ වනය මැදින් ගමන් කිරීමට සිදු වන අතර, එය ඉතා දුෂ්කර ගමන් මාර්ගයකි. පුත්තලම දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද මධ්‍යස්ථාන වන පුක්කුලම වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් වන අතර, එය වනාතවිල්ලුව පළමු ග්‍රාම නිලධාරී වසම ද වෙයි. පුක්කුලම ඡන්ද මධ්‍යස්ථානය එම ධීවර ගම්මානයේ පිහිටි කතෝලික දේවස්ථානයේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ. එහි ලියාපදිංචි ඡන්ද දායකයන් 197 දෙනකු සිටින බවත්, එම සියලු දෙනාම ධීවරයන් බවත් පැවසූ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් මිලංග ප්‍රභාත් නන්දසේන මහතා, පසුගිය ජනාධිපතිවරණ සමයේ සියයට 50කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් එහිදී වාර්තා වූ බවත්, ඔවුන් විවිධ ප්‍රාදේශවලින් වසර 50කට වැඩි කාලයක සිට පැමිණ සිටින පිරිස් බවත් අනාවරණය කළේය.

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT