කිරිබත්ගොඩ නව නගරයේ ඉදිකිරීම් සඳහා පවරාගෙන තිබූ රුපියල් කෝටි දෙකක වටිනාකමින් යුත් රජයේ ඉඩම කූට ලේඛන සකසා පෞද්ගලික අංශයට විකුණුවේ යැයි කියන සිද්ධියට අදාළව අධිකරණය මඟහරිමින් සිටින හිටපු ඇමැති ප්‍රසන්න රණවීර, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන අයවලුන් දුටුතැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය පළමුවරට ඊයේ (05) විවෘත වරෙන්තුවක් නිකුත් කළාය.
මෙම සැකකරුවන් දෙදෙනා දිගින් දිගටම අධිකරණය මඟ හැරීම හේතුවෙන් ඔවුන්ට විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ විමර්ශන නිලධාරින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළ පළමු වැනි සැකකාර හිටපු ඇමැති මර්වින් සිල්වා, දෙවැනි සැකකරු වන කැලණිය ප්‍රදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා ඇතුළු සිවු දෙනා ලබන මැයි මස 19 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණයෙන් නියෝග නිකුත් විණි.
ඒ අනුව මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හිටපු ඇමැතිවරයකු වන මර්වින් සිල්වා, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු වන වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල්, හිටපු ඇමැති මර්වින් සිල්වා මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් සහ තරංග නවීන් වීරකෝන් යන සිවු දෙනාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ විමර්ශන නිලධාරින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය.
මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධව හිටපු ඇමැති ප්‍රසන්න රණවීර සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර අවස්ථා දෙකක වරෙන්තු නිකුත් වුණා. ඒ අනුව එම සැකකරුවන් දෙදෙනා සම්බන්ධව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ගෙන් සහ ඔවුන්ගේ සමීපතමයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ඔවුන් සැඟව සිටින ස්ථාන කිහිපයක් පරීක්ෂා කළත් එම සැකකරුවන් දෙදෙනා සොයා ගැනීමට හැකි වුණේ නැහැ. ඒ අනුව එම අධිකරණය මඟහරිමින් සිටින සැකකරුවන් සොයා දිවයින පුරා පුළුල් විමර්ශනයක් කරනවා. මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මඟ හරින හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් මුදල් තැන්පත් කළේ යැයි කියන බැංකු සහ මූල්‍ය ආයතන 33ක ගිණුම් වාර්තා පරීක්ෂා කර ඒවායේ මුදල් කොපමණ ප්‍රමාණයන් තිබේද යන්න සෙවීමට එම බැංකු සහ මූල්‍ය ආයතන 33 ට නියෝග නිකුත් කරන ලෙසට ඉල්ලා සිටිනවා. මීට අමතරව අධිකරණය මඟ හරින එම සැකකරුවන් දෙදෙනාට සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට අයත් රථවාහන කොපමණ ප්‍රමාණයක් තිබේද යන්න සෙවීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසට ඉල්ලා සිටිනවා. ඒ අනුව එම අධිකරණය මඟ හරින සැකකරුවන් දෙදෙනා සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන්ගේ වත්කම් සහ දේපොළ සොයා ඒවා ඉදිරියේදී රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. ඒ අනුව අධිකරණය මඟ හරින මෙම සැකකරුවන් දෙදෙනා දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කරන ලෙසට ඉල්ලා සිටිනවා. මීට අමතරව මෙහි රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් සිවු දෙනාට පොදු දේපොළ පනත යටතේ නඩු පවරා ඇති නිසා ඔවුන් තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියම කරන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
මහර බන්ධනාගාර රෝහල භාරව කටයුතු කරන වෛද්‍ය නිලධාරියකු අධිකරණයට ලිඛිතව කරුණු ඉදිරිපත් කරමින් මේ වන විට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ඇමැති මර්වින් සිල්වා මහතාගේ සර්වාංග රෝග, හෘද රෝග ඇතුළු විවිධ රෝගාබාධ සම්බන්ධව රාගම ශික්ෂණ රෝහලේ අවශ්‍ය සායනවලට ඉදිරිපත් කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ඇති බව පැවසීය.
හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය.
මෙම නඩුව සම්බන්ධයෙන් මගේ සේවාදායකයා ලොකු සාක්ෂි ඉදිරිපත් කර නැහැ. එම නිසා මගේ සේවාදායකයා සම්බන්ධව ඉදිරියට අවශ්‍ය සාක්ෂි සම්පිණ්ඩන වර්තා ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා. මීට අමතරව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාව රාගම ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය කටයුතු කර තියෙනවා.
හිටපු ඇමැති මර්වින් සිල්වා මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස සිටි සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් ඉදිරි දින සිය සේවාදායකයා සඳහා ලිඛිතව ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරන බව පැවසීය.
ඉදිරිපත්වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරිය මේ වන විට අධිකරණය මඟහරිමින් පසුවන සැකකරුවන් වන හිටපු ඇමැති ප්‍රසන්න රණවීර සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන අය ඇතුළු ඔවුන්ගේ ඥාතීන්ට අයත් මුදල් තැන්පත් කර ඇති බවට සැකකරන බැංකු සහ මූල්‍ය ආයතන 33ක ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමටත් එම සැකකරුවන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට අයත් රථ වාහන තිබේද යන්න පරීක්ෂා කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට වැඩිදුරටත් නියම කළාය.
මීට අමතරව රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් සම්බන්ධව ඉදිරි දින සාක්ෂි සම්පිණ්ඩන වාර්තා ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට නියම කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. විජේතුංග සහ එහි සැරයන් (35077) එස්. ප්‍රියන්ත ඩෙන්සිල් යන නිලධාරීන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.
මහර සමූහ – ගණිදු රෝචන සමරතුංග