Home » ශ්‍රී ලංකා යොවුන් පිලට 5 වැනි තරගයෙන් ලකුණු 27ක ජයක්

ශ්‍රී ලංකා යොවුන් පිලට 5 වැනි තරගයෙන් ලකුණු 27ක ජයක්

-විරාන් චමුදිත කඩුල්ලක් දවාගැනීම සමරමින්

by sachintha
May 6, 2025 1:23 am 0 comment

සංචාරක බංග්ලාදේශ අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඊයේ සමත් වූහ.

ඒ දෙපිල අතර පැවති 5 වැනි එක්දින තරගය ලකුණු 27කින් ජය ගනිමිනි. මේ සමඟ තරග 6කින් සමන්විත යොවුන් එක්දින තරගාවලිය 3-2ක් කර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකි විය.

කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 196ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශ පිලට ඕවර 45කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 169ක් පමණි.

මේ තරගාවලියේදී බංග්ලාදේශ පිල වෙනුවෙන් ශතක 2ක් රැස් කරමින් සාර්ථකම පිතිකරු වූ සවාද් අබ්රාර් පළමු කඩුල්ල ලෙස ලකුණු 7කට පිටියෙන් ඉවත් කිරීමට සමත්වූ ශ්‍රී ලංකා පිල ලකුණු 105ක් වෙද්දී කඩුලු 5ක් බිඳ දැමීමට සමත්ව තිබිණි. 7 වැනි කඩුල්ලට එක් වූ සමියුන් බසීර් සහ ෆරීඩ් හසන් (30) ලකුණු 51ක සබඳතාවක් ගොඩනඟමින් බංග්ලාදේශ බලාපොරොත්තු ඉහළ නැංවීය. පන්දු 26කින් ලකුණු 37ක් රැස් කළ බසීර් දවා ගනිමින් එම සබඳතාව බිඳ දැමීමට කවිජ ගමගේ සමත් වූ අතර, 44 වැනි ඕවරයේදී කඩුලු 2ක් බිඳ දැමීමට කුගදාස් මාතුලන්ට හැකි විය. තරගය පුරා කුගදාස් කඩුලු 3ක් දවාගත් අතර, විරාන් චමුදිත ද කඩුලු 2ක් බිඳ හෙළද්දී තරුෂ නවෝද්‍ය කඩුලු 2ක් දවාගත්තේය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 113කදී බිඳ වැටුණු අතර, අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රීඩක ආදම් හිල්මි සෙසු පිතිකරුවන් සමඟ එක්ව ලකුණු පුවරුව 196 දක්වා ඉදිරියට රැගෙන ගියේය. ඊයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් යොවුන් එක්දින තරග වරම් ලබාගත් මේ ක්‍රීඩකයා පන්දු 59කදී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 51ක් රැස් කිරීමට සමත් විය. නායක විමත් දින්සර සමඟ 6 වැනි කඩුල්ලට ලකුණු 38ක් එක් කළ හිල්මි අවසන් කඩුල්ලට කුගදාස් මාතුලන් (4) සමඟ ලකුණු 32ක සබඳතාවක් ගොඩනැඟුවේය. දින්සර ලකුණු 42ක් රැස් කළ අතර, සුවහස් ප්‍රනාන්දු සහ කිත්ම විදානපතිරණ ලකුණු 28 බැගින් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී සමියුන් බසීර් කඩුලු 3ක් බිඳ දැමූ අතර, ෆර්හාන් ෂාහරියර්, සාද් ඉස්ලාම් සහ රිසාන් හොසේන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

මේ තරගයේදී හිල්මිට අමතරව ජෙලොන් ගමගේ සහ සුහස් ප්‍රනාන්දු ද ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් එක්දින තරග වරම් දිනා ගත්හ.

දෙපිල අතර අවසන් එක්දින තරගය අනිද්දා (8) කෝල්ට්ස් පිටියේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා 19න් පහළ පිල – 196 (ඕවර 42.3) ආදම් හිල්මි 51, විමත් දින්සර 42, කිත්ම විදානපතිරණ 28, සුහස් ප්‍රනාන්දු 28 (සමියුන් බසීර් 35/3, ෆර්හාන් ෂාහරියර් 5/2, සාද් ඉස්ලාම් 29/2, රිසාන් හොසේන් 30/2)

බංග්ලාදේශ 19න් පහළ පිල – 169 (ඕවර 45) සමියුන් බසීර් 37, එම්.ඩී. අබ්දුල්ලා 32, ෆරීඩ් හසන් නොදැවී 30, රිසාන් හොසේන් 25, දෙබසිෂ් දෙබා 24 (විරාන් චමුදිත 26/3, කුගදාස් මාතුලන් 26/3, තරුෂ නවෝද්‍ය 30/2)

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT