Home » භින්න පෞරුෂයක වින්දිතයෝ

භින්න පෞරුෂයක වින්දිතයෝ

by sachintha
May 7, 2025 1:42 am 0 comment

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින්, අධ්‍යාපන ආයතනයන්හී නවකවදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ 1998 අංක 20 පනත සම්මත කර ගන්නා ලදී. නවකවදය, වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා සහ නොහොබිනා සැලකීම් ආදිය අධ්‍යාපන ආයතනයන් තුළින් තුරන් කර දැමීම පනතේ සවිස්තරාත්මකව නිරූපණය කර තිබේ.

 

හිංසනයෙන් තොර ජීවිතයක් ගත කිරීමේ නිදහස් අයිතිය සෑම මනුෂ්‍යයකුම සතු වන අතර, ස්ත්‍රී – පුරුෂ සමාජභාවය හෝ වෙනත් ඕනම කරුණක් පදනම් කර යමෙකු බිය ගැන්වීමට හෝ බලෙන් යටත් කර ගැනීම, කීකරු කර ගැනීමට ප්‍රචණ්ඩත්වය යොදා ගැනීමේ කිසිදු අයිතියක් කිසිවකුට හෝ නොමැත”

මේ සියල්ල වචනවලට පමණක් සීමා වූ ලෝකයක් තුළ නැවත නැවතත් මානව හිමිකම් පිළිබඳ ව සහ අනෙකාගේ සමාජ යුතුකම් පිළිබඳ ව අපි කතා කරමින් සිටින්නෙමු. නමුත් ඛේදවාචකය නම්, හෙළිදරව් වන සිදුවීම් කිහිපයක් අතර හෙළිදරව් නොවන දහස් ගණනක මානව හිංසනයන් සැඟව තිබීමයි. පසුගියදා සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදු වූ නවකවද සිදුවීමක් සහ සියදිවි හානිකර ගැනීමේ සිදුවීම සමාජ මාධ්‍ය ජාලා මෙන් ම සමාජය ද කළඹවා ඇත. ඉකබිතිව ජපුර ද එබඳුම සිදුවීමක් වාර්තා විය. එනිසා හිංසනය පිටුදැකීම මෙන් ම නවකවදය මුලිනුපුටා දැමීම පිළිබඳ ව සමාජ කතිකාවක් ඇති වෙමින් පවතී. තත්ත්වය කෙසේ වුව ද මෙම සිදුවීම් උත්කර්ෂයට නංවමින් ඉන් තම වාසිය සලසා ගන්නා යූ ටියුබ් නාලිකා, මාධ්‍ය භාවිතයන් , දේශපාලකයින්, පෞද්ගලික ආයතන මෙන් ම දේශපාලන භාවිතයන් ද ඇත. මේ සියලු සිදුවීම් ප්‍රබල තර්ක බවට පත් කර ගනිමින් පුද්ගලික විශ්වවිද්‍යාල මුදලාලිලා බොරදියේ මාළුබාමින් සිටියි.

විශ්වවිද්‍යාල සංස්කෘතිය තුළ උප සංස්කෘතික් ලෙස “රැග්” කිරීම නවකයින් විශ්වවිද්‍යාලය භූමියට පැමිණි මුල් කාලය තුළ සිදු වන්නකි. ඔවුන් විශ්වවිද්‍යාල සංස්කෘතියට හුරු කිරීම සඳහා විවිධ ආකාරයේ වැඩසටහන් සමඟ ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් මෙම ‘රැග්’ සංස්කෘතිය පවත්වාගෙන යයි. නමුත් වසර දහතුනක් පාසල් අධ්‍යාපනය නිම කර විශ්වවිද්‍යාල ජීවිතයට ප්‍රවිෂ්ඨ වන දරුවෙකුට විශ්ව විද්‍යාල ජීවිතයට හුරුවීමට තවත් පිරිසකගේ අනුදැනුම සහ මඟ පෙන්වීමක් අවශ්‍ය නැත. ලෝකයේ බොහෝ රටවල විශ්වවිද්‍යාලය ආශ්‍රිත ව මෙම නවකවදය නැතිනම් ‘රැග්’ ක්‍රියාත්මක වීම දැකිය හැකි ය. ලොව පුරා විවිධ නවකවද සිදුවීම් ද වාර්තා වී ඇත. මේ විශ්වවිද්‍යාල තුළ තවදුරටත් ශේෂව පවතින ගතානුගතික පසුගාමී සංස්කෘතික ලක්ෂණයකි.

ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන්ගෙන් අපහසුතාවයට ලක්වන ප්‍රශ්න ඇසීම, තැති ගැන්වීම, බලහත්කාරය මගින් ගරුබුහුමන් හිමිකර ගැනීම, කථා කිරීමේ අයිතිය සීමා කිරීම, කවට රංගනයන් ඉදිරිපත් කිරීමට පෙළඹවීම, විශේෂිත අයුරින් ඇඳුම් ඇඳීමට බල කිරීම වැනි ක්‍රියාවන් නවකවද සිදුවීම් ලෙස වාර්තා වෙයි. මීට ශාරීරික සහ ලිංගික හිංසනයන් ඇතුළත් නොවන මුත් ඇතැමුන් තම ජාගර ආශාවන් ඒ මත්තේ සන්තර්පණය කර ගැනීමට මානබලනු පෙනෙයි. එසේම කිසිවෙකුට තමන් අකමැති ක්‍රියාවක් කිරීමට හෝ නිරත වීමට බලකිරීම සිදු නොවිය යුත්තකි. එසේ ම නිරුවත් කිරීම, කටුක තත්ත්ව යටතේ ව්‍යායාම වල යෙදවීම, කායික හිංසන සිදු කිරීම වැනි හිංසාකාරී ක්‍රියාකාරකම් විශ්ව විද්‍යාල පරිශ්‍රයක් තුළ හෝ පිටත සිදු වන්නේ නම් එය කිසිසේත්ම අනුමත කළ නොහැක.

1997 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ඉගෙනුම ලැබූ විසිදෙහැවිරිදි රූපා රත්නසීලී ශිෂ්‍යාවට ජ්‍යේෂ්ඨ සිසුවියන්ගෙන් හිමිවූ ශාරීරික නවකවදය දරා ගත නොහැකිව ඉන් ගැලවීම පිණිස “රාමනාදන් ශාලාවේ” නේවාසිකාගාර දෙවන මහලින් බිමට පැනීම නිසා අබාධිත තත්ත්වයට පත් විය. මහලෙන් පැනීමට මොහොතකට පෙර ඇගේ යෝනි මාර්ගයට ඉටිපන්දමක් ඇතුළු කොට තිබූ බව වාර්ථාවන්හී සඳහන්ව තිබුණු අතර ඉන් සිය පාදයන්ට ඇති වූ ආබාධ නිසා හටගත් සිත් තැවුල හේතුවෙන් 1997 වර්ෂයේදී, ඇය සිය දිවි නසා ගන්නා ලදී. මෙම සිදුවීමේ සිට 1993 වසරේදී, රුහුණ විශ්වවිද්‍යාලයේ චමින්ද පුංචිහේවා සිසුවාගේ මරණය, අඟුණුකොළපැලැස්ස කෘෂී පාසලෙහි ප්‍රසංග නිරෝෂණ සිසුවාගේ මරණය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍යයකු වූ 21 හැවිරිදි එස්. වරප්‍රකාශ් සිසුවාගේ වකුගඩු අක්‍රීය වීමෙන් සිදු වූ මරණය ආදී සියලු මරණ නවකවදය නිසාවෙන් සිදු වූ ඒවා විය.

එසේ ම රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවියක, නවක වදයේ ප්‍රතිඵලයක් ලෙස 1997 වසරේදී සිය දිවි නසා ගන්නා ලදී. 1997 වසරේදී, අම්පාර හාඩි තාක්ෂණික ආයතනයෙහි පළමු වසරේ සිසුවෙකු වූ කැලුම් තුෂාර විජේතුංග, දැඩි වෙහෙසකර ව්‍යායාම කිරීමට සහ අධිමාත්‍ර මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ලබා ගැනීමට සිදුවීම නිසා ඇතිවූ වකුගඩු අක්‍රීය වීමක් හේතුවෙන් මරණයට පත්විය.

මේ නවකවදය පිළිබඳ ඉතිහාස කතන්දර පමණක් නොවේ. යාවත්කාලීන නොවූ පසුගාමී සමාජ ලක්ෂණ සහිත සමාජයක මනුෂ්‍ය ජීවිතයක දුන් වටිනාකමයි. ඒ නිසා නවකවද සිදුවීම් හෝ යම් හිංසාකාරී අවස්ථාවකට මුහුණ දීමේ දී එයට ඔබේ ජීවිතයෙන් වන්දි ගෙවනවා වෙනුවට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු ය.

ආ. ව්‍යවස්ථාවට අනූව ඕනෑම මානව හිමිකම් උල්ලංඝණය වන සිදුවීමකදී හෝ කඩකිරීමක් සිදුවීමට ආසන්න අවස්ථාවකදී, 126 වන වගන්තියේ නියමයන්ට අනූව රටෙහි පුරවැසියාට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ හැකි වෙයි. යම් කිසි අයෙකු විසින් ඕනෑම පාර්ශ්වයකට සිදුකරනු ලබන කෘර, මිලේච්ඡ හෝ අවඥා සහගත සැලකීමක්, මානව හිමිකම් උල්ලංඝණය වීමක් ලෙස ව්‍යවස්ථාව මගින් වැඩිදුරටත් හුවා දක්වා තිබේ. මේ තත්ත්වය යටතේ තමන්ට සිදුවන ඕනෑම බලහත්කාරී ක්‍රියාවකට එරෙහි ව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට ඇත. එවැනි හිමිකම් කඩකිරීමක දී ඔවුන් අදාළ අධිකරණයක් ඉදිරියේ නඩු විභාගයකින් අනතුරුව ලබා දෙන සුදුසු දඬුවමකට යටත් විය යුතු වෙයි.

1997 වසරේ සිදුවූ නවකවදයට අදාළ සිද්ධීන් පෙළකින් අනතුරුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින්, අධ්‍යාපන ආයතනයන්හී නවකවදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ 1998 අංක 20 පනත සම්මත කර ගන්නා ලදී. නවකවදය, වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා සහ නොහොබිනා සැලකීම් ආදිය අධ්‍යාපන ආයතනයන් තුළින් තුරන් කර දැමීම පනතේ සවිස්තරාත්මකව නිරූපණය කර තිබේ. 1978 අංක 16 යන විශ්වවිද්‍යාල පනත යටතේ පිහිටුවා ඇති සියලුම උසස් අධ්‍යාපන ආයතනයන් සහ පනතට අදාළ උසස් අධ්‍යාපන ආයතනයන් මේ යටතේ නිරූපිත ය.2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත යටතේ ද මේ සඳහා නඩු පැවරිය හැකි ය.

දුර්වල පෞරුෂයන් සහිත පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් මත තවත් පුද්ගලයකුගේ ජීවිතයේ ඉදිරි තත්ත්පර කිහිපය තීරණය විය යුතු නැත. බොහෝ විට මෙම නවකවද ක්‍රියාවලිය තුළ අමානුෂික ලෙස තවත් පුද්ගලයකුට සලකන ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෞරුෂ දුර්වලතා සහිත, කුඩා කල සිට තමන්ට අවශ්‍ය පුද්ගල අවධානය නොලැබුණු අය වේ. මොවුන් සමාජ විරෝධි පෞරුෂය (Antisocial Personality) හෝ නාසිෂ්ටික පෞරුෂය (Narcissistic Personality) යන පෞරුෂ භින්නතාවන්ගෙන් පෙළෙන්නන් විය හැකි ය. නැවත මෙවැනි නවක වද සිදුවීම් නොමැති වීමට ඔබ යහපත් පෞරුෂයක් සහිත මනුෂ්‍යයකු විය යුතුම ය.

සඳු දිසානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT