ඇගේ උද්ඝෝෂණයක් නතර වුයේ ඇයට මාස දෙකක සිරදඬුවමක් ලබා දෙමිනි. සිරදඬුවම අවසානයේ ඇය සිය නිවෙසට ආ විට ඇයට ගෙදර පෙර තිබූ පිළිගැනීම ලැබුණේ නැත. සුනීතා එය මායිම් නොකරමින් 1996 දී සිය නිවෙසද, මව්පියන් ද අතහැරීමට තීරණය කළා ය. එය පහසු තීරණයක් වුයේ නැති බව සැබෑ ය.
මෙය කඩිනම් යුක්තිය ඉටුවිය යුතු නඩුවක්, නමුත් චෝදනා පත්‍ර අදියරටවත් නොපැමිණෙන ලිංගික අපරාධ නඩු බිලියන ගණනක් තිබෙනවා. ලිංගික සේවයට බලහත්කාරයෙන් යොමු කරන ලද කාන්තාවන් සහ තරුණ ගැහැනු ළමුන් 27,500 කගේ ජීවිතවලට ධනාත්මක බලපෑමක් මෙයින් ඇති කර තිබෙනවා. ඔබ සමාජ ක්‍රියාකාරිණියක් වීම අවශ්‍ය වෙන්නෙ නෑ. නමුත් ලිංගික සේවා සැපයීම තුළ මූලික සූක්ෂ්මතා සහ කාන්තාවන්ට කිරීමට බල කෙරෙන සීමිත තේරීම් තේරුම් ගන්න. දිනපතා බොහෝ සිරුරු, හිත් සහ ආත්මයන් තලා පෙළා දමනු ලබනවා,” ප්‍රබල ඉන්දියානු සමාජ ක්‍රියාකාරිණියක වන සුනීතා ක්‍රිෂ්ණන් පවසයි.
ඇය මේ බව කියා සිටියේ පසුගියදා කල්කටාවේ වෛද්‍යවරියක දූෂණය කොට මරාදැමීමේ සංසිද්ධියට අදාළ නඩුවිභාගය පාදක කරගනිමින් පැවති ප්‍රසිද්ධ සංවාදයකදී ය. ලිංගික අපචාර, ස්ත්රීන්ට එරෙහි ප්රචණ්ඩත්වය වෙනුවෙන් නැඟෙන ඉන්දීය හඬක් ඇත්නම් සුනීතාගේ නම එහි ඉදිරියෙන්ම තිබෙනු නිසැක ය. ඉන්දියානු රාජ්‍යයේ ඉහළම සිවිල් සම්මානය වන පද්ම ශ්‍රී සම්මානය 2016 දී හිමිකරගත්තේ ඇය යි.
ලිංගික සූරාකෑමට එරෙහිව අභීතව නැඟී සිටි සුනීතා ක්‍රිෂ්ණන් නැමැති දිරිය ගැහැනිය උපත ලැබුවේ මලයාලම් ඡාතික මව්පියන්ට දාව 1972 දී බැංග්ලෝරයේදී ය. ඇය උපතේ පටන් වෙනස්ව සිතන පතන හා ක්‍රියාකරන දැරිවියක බව ඇගේ වයස 8 දී ඉන්දියාවේ කුලහීන දරුවන්ට නර්තනය උගැන්වීමට පටන් ගැනීමෙන්ම පැහැදිලි විය. ඇය ඉන් නොනැවතී ඇයට යන්තමින් වයස 14 ක් පමණ වනවිට කුලහීන දාලිත් කුලයේ දුගී දරුවන් එකතුකර පුංචි කාමර කෑල්ලක් කුලියට ගෙන නොමිලේ අධ්‍යාපනය ලබාදීමට කටයුතු කළා ය. ඉන්දියාව යනු කුලවාදය නැමති නරා වළේ කරවටක් ගිලී ගිය මිනිසුන් වෙසෙන රාජ්‍යයකි. සුනීතාගේ මෙම ක්‍රියා කලාපය කුලීන සමාඡයට දිරවාගත නොහැකි දර්ශනයක් විය. එහි ප්‍රතිඵලය වුයේ වියරු වැටුණු මිනිසුන් 8 දෙනෙකු එකතු වී මෙම දැරිය සමූහ දූෂණයට ලක් කිරීමයි. එවිට ඇයගේ වයස අවුරුදු 15 කි.
මෙම අපරාධයට ලක්වීමෙන් පසු ඇය තවදුරටත් දරුවන්ට උගන්වන්න ගියේ නැත. ඒ ඇය මානසිකව කඩා වැටුණු නිසා නොවේ. විශ්මිත ලෙස ඇය එයින් පන්නරය ලබා ඇගේ අරමුණු ශක්තිමත් කර තිබූ බැවිනි. ඇයට ස්ථිරසාර ඉලක්කයක් තිබිණි. ඇය උසස් අධ්‍යාපනය සඳහා දිගටම වෙහසවුණු අතර මනෝ වෛද්‍ය විද්‍යාවේදී උපාධියකින් පළමු අදියර සාර්ථකව අවසන් කළා ය. අනතුරුව කාන්තාවන් වෙනුවෙන් පාරට බැස්සා ය. එය ඇයට සිර බත් කෑමට ප්‍රථම වරට හුරු කරනු ලැබූ අවස්ථාව යි. 1996 දි බැංග්ලෝර් තරුණියන් ලෝක රූ රාජිනි තරගවලට සහභාගිවීම නැවත්වීම සඳහා කළ ඇගේ උද්ඝෝෂණයක් නතර වුයේ ඇයට මාස දෙකක සිරදඬුවමක් ලබා දෙමිනි. සිරදඬුවම අවසානයේ ඇය සිය නිවෙසට ආ විට ඇයට ගෙදර පෙර තිබූ පිළිගැනීම ලැබුණේ නැත. සුනීතා එය මායිම් නොකරමින් 1996 දී සිය නිවෙසද, මව්පියන් ද අතහැරීමට තීරණය කළා ය. එය පහසු තීරණයක් වුයේ නැති බව සැබෑ ය. එහෙත් සුනීතා ඔවුන් අතහැර දැමූවා ය. අරමුණේ ස්ථරසාරබව ඉන් මොනවට පැහැදිලි ය.
එවකට කාන්තා අයිතිවාසිකමි වෙනුවෙන් පෙනීසිටි පල්ලියේ පූජකවරයකු වු ජෝස් වෙතිකාල් හමුවීමට ඇය හයිද්‍රබාද් නගරයට පැමිණියා ය. පසුව ඇය ලිංගික හිංසනයෙන් හා දූෂණවලින් මානසිකව කඩා වැටුණු ගැහැනුන් වෙනුවෙන් “ප්රජ්වාලා” නැමති සංවිධානය පිහිටෙව්වා ය. එහි ප්‍රථම කාර්යය වුයේ හයිද්‍රාබාද්හි “රතු එළිය” නැමති ඉන්දියානු ලිංගික ශ්‍රමික කතුන් වෙසෙන ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන එහි ගණිකා වෘත්තියේ යෙදුණු ගැහැනුන්ගේ දියණියන්ට පාසැලක් විවෘත කිරීමයි. මේ පාසැලට පැමිණි දැරියන්ද සිය මවුවරුන් මෙන්ම දුෂණයට ලක්ව සිටියවුන් ය. සුනීතා මේ සියලු දැරියන්ට මනාලෙස අධ්‍යාපනය දෙමින් ඔවුන්ට ස්වයං රැකියා පුහුණු කරමින් හා රැකියා අවස්ථා සොයාදෙමින් නැවත ගණිකා වෘත්තියට නොයන සේ කාරුණිකව හා දක්ෂ ලෙස ඔවුන් මෙහෙය වුවා ය. ඇගෙන් යහපත් මාර්ගය තෝරාගත් දැරියන් සංඛ්‍යාත්මකව අට දහස ඉක්මවයි. ඇය මේ වනවිට හයිද්‍රබාද්හි පාසැල් 19 ක දූෂණයට ලක්වූ පාසැල් සිසුවියන් වෙනුවෙන් සති පතා වෛද්‍ය සායන පවත්වයි.
‘වරක් නෙල්සන් මැන්ඩෙලා සමරු තිළිණය ලැබු සුනීතා අල්ජසීරා පුවත් නාලිකාවට මෙසේ කියා තිබුණාය ‘‘ ඔබලා දන්නවාද ඉන්දියාවේ වහල් ශ්‍රමිකයො කොචිචරක් ඉන්නවද කියල ? තිස් ලක්ෂයක් මේ තිස් ලක්ෂයකගෙ දූවරු හෙට වෙනකොට තවත් තිස් ලක්ෂයක් දූෂණය වීම සඳහා ලැස්තිකරන රටක මිනිස්සු අපි. මේ දූෂකයො සමාජයේ වීරයෝ කරන එකත් උන් නීතියෙන් බෙරී සිටිම ගැනත් අපි ඉන්දියානුවන් විදිහට ලැඡ්ඡා විය යුතුයි“ .
මේ වනවිට ඇගේ ප්රජ්වාලා සංවිධානය විසින් ලිංගික ජාවාරම් කරුවන්ගේ ග්රහණයෙන් බේරා ගත් දැරියන්ගේ ගණන 12,000 කි. මෙම සංවිධානය ගොඩ නැඟී ඇත්තේ කුලුනු පහක් මත ය. දුෂණයකින් බේරා ගැනීම, වැළක්වීම , පුනරුත්ථාපනය, වින්දිතයාව මානසිකව ගොඩ නැඟීම හා දූෂකයාට දඬුවම් ලබාදීම එම කුලුනු ය.
ඇය විවාහවුයේ ඉන්දියානු තිරනාටක රචකයෙකු හා අධ්‍යක්ෂකවරයෙකු ද වන රජේෂ් වචීර්වර් සමඟ ය. ඔහු හා එකතුව ඇය නිෂ්පාදනය කළ ඉන්දීය ගැහැනුන්ගේ ලිංගික සුරාකෑම විදහා දැක්වෙන චිත්‍රපටිය “නා බන්ගාරු” ඉන්දීය රාජ්‍ය සම්මාන තුනක් දිනා ගත්තේ ය. 2003 දී ඇය දූෂණයට ලක්වූ වින්දිතයන් පුනරුත්ථාපනය කිරීමට හා වන්දි ලබාදීමට ඉන්දීය රජය වහා මැදිහත් විය යුතුයැයි ඉල්ලා සිටියා ය. ඒ වෙනුවෙන් බලපෑම් කළා ය. ඒ අනුව ඉන්දීය රජය විසින් කර්ණාටක, උත්තර ප්‍රදේශ් , තමිල්නාඩු, දිල්ලි. බටහිර බෙංගාලය හා මහාරාෂ්ට්‍ර ප්රාන්තයන් හි දූෂණයට ලක්වූවන් වෙනුවෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන පිහිටුවා වින්දිතයන්ට වන්දි ලබාදීමේ කාර්යය පවත්වාගෙන එනු ලබයි.
සුනීතා ක්රිෂ්ණන්ගේ ශ්‍රම දායකත්වයෙන් මේ වනවිට නිර්මාණය වූ වාර්තාමය චිත්‍රපට සංඛ්‍යාව 11 කි. ඇය සංකල්පීය වශයෙන්, තිරරචනයෙන් හෝ සම නිෂ්පාදනයෙන් ඒවාට දායක වී තිබේ. ඇය ස්ත්‍රී දූෂණයට එරෙහිව නැඟී සිට වින්දියන්ට කළ අප්‍රමාණ සේවය වෙනුවෙන් මේ වනවිට ලැබූ ජාතික සහ ජාත්‍යන්තර සම්මානවල එකතුව 49 කි. ඒවා අතර යම් කෙනෙකුට සිය ජීවිත කාලය තුළ ලැබිය හැති ඉහළම ශ්‍රේණියේ ගෞරවනීය සම්මාන ද කිහිපයක්ම තිබීම විශේෂ ය.
උපාලි ජයසිංහ