මාක්ස්වාදය ඇදහිල්ලක් නොවේ. ක්‍රියාවට මඟ පෙන්වීමකි. දර්ශනය චින්තනමය බලයකි. එය මිනිස් චින්තනයේ උසස්තම ආකාරය යි. එහෙත් එය ද්‍රව්‍යමය බලයක් වන්නේ යම් නිශ්චිත සමාජ පංතියක අධ්‍යාත්මික අවිය වීමෙන් පමණකි. මාක්ස්වාදය සක්‍රිය සහ සජීවී වන්නේ එයට ද්‍රව්‍යමය බලයක් ආදේශවීමෙනි.
ධනවාදි සමාජ – ආර්ථික ක්‍රමය උපත ලබා වසර 500ක් පමණ වේ. කාල් මාක්ස් නම් ශ්‍රේෂ්ඨ චින්තකයා උපත ලබා වසර 207යි. ඔහුගේ උපන් දිනය 1818 මැයි පස්වෙනිදා ය. පසු කළ සියවස් දෙකෙහිම ශ්‍රේෂ්ඨතම චින්තකයා වූයේ කාල් මාක්ස් ය. කාල් මාක්ස්ගේ විශිෂ්ටතම දේශපාලන ආර්ථික විද්‍යා ග්‍රන්ථය “ප්‍රාග්ධනය”යි. එය වසර හතළිහක ශ්‍රම මෙහෙයුමක ඵලයකි. එය ඉතා ගැඹුරින් ධනවාදි සමාජය විචාරය කොට එය ඉක්මවූ නව ලෝකයක් පිළිබඳ දැක්ම ඉදිරිපත් කරන්නකි. අවසන් වරට ධනවාදය, ලෝක පරිමාණයෙන් සුපුරුදු අර්බුදයට යන්නේ 2008දී ය. එකල යුරෝපයෙහි වැඩියෙන්ම අලෙවි වූ කෘතිය මාක්ස්ගේ “ප්‍රාග්ධනය” යි. එහි නවතම මුද්‍රණයන් ගණනාවක් යළි නිකුත් විය. ධනවාදයේ අර්බුදයට විසඳුම් සොයා යළි යළිත් යුරෝපය සොයන්නට වූයේ කාල් මාක්ස් ය. ඔහු විසින් ධනේශ්වර සමාජයේ සැබෑ හරය ඉස්මතු කළ ඉතා රසවත් පොත් පිංච වන්නේ “කොමියුනිස්ට් ප්‍රකාශනය” යි. එය මාක්ස් තම සගයා වන පෙඩ්රික් එංගල්ස් හා එක්ව කළ කෘතිය යි. ඒ 1847දී ය. එහි ආරම්භයේදීම මෙලෙස සඳහන්වේ. “යුරෝපය පුරා අවතාරයක් හොල්මන් කරයි. එය කොමියුනිස්ට්වාදයේ අවතාරයයි.”
කොමියුනිස්ට්වාදය යනු මාක්ස්වාදය යි. මාක්ස් තම මිතුරා වන එංගල්ස් හා එක්ව ඉදිරිපත් කළ මහා චින්තනය යි. ඔවුන් කොමියුනිස්ට් ප්‍රකාශනයේ ආරම්භයේදීම පවසන්නේ මාක්ස්වාදය යුරෝපයේ ධනපති පන්තිය කෙතරම් බියට පත් කළාද යන්න ය. 2008 එළඹෙන්නේ එයින් වසර 161කට පසුව ය. එතැන් සිට යුරෝපය මාක්ස්ගේ ආර්ථික විද්‍යා දැක්ම කියවීමේ පිපාසයෙන් යළි පෙළෙන්නට විය. ඉන් කියැවෙන්නේ ඔහු 21 වෙනි සියවසේ ද මහා චින්තකයා ලෙස ධනවාදි යුරෝපය පවා පිළිගෙන අවසන් බව ය. බොහෝ ධනවාදි චින්තකයෝ මාක්ස් ප්‍රතික්ෂේප කරන්නට මහත් වෙහෙසක් දරති. එහෙත් එය අසාර්ථක කරමින් යළි යළිත් අපට මාක්ස් අවශ්‍ය වන්නේ ඇයි? මාක්ස් නිවැරැදිව කියවා ගැනීම වෙන කවරදාටත් වත්මනේ වඩා වැදගත් වන්නේ එහි නොවිසඳෙන දැවැන්ත අර්බුදය නිසාම ය. මාක්ස් කියවා ගැනීමට යම් බුද්ධිමය ආලෝකයක් සැපයීම මෙම ලිපියේ අරමුණයි.
මාක්ස්වාදය අහඹුවක්ද?
මාක්ස්ගේ උපත සාපේක්ෂව අහම්බයක් විය හැකි ය. එහෙත් මාක්ස්වාදය හුදු අහම්බයක් නොවේ. මාක්ස් උපත ලබන්නේ දැනටමත් ධනවාදයේ පහස ලද ජර්මනියේ රයින් පළාතේ ට්‍රියර් නගරයේ ය. ඔහු උපන් ප්‍රදේශය 1789 පැනනැඟි ප්‍රංශයේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදි විප්ලවයට නතු වීමෙන් පසු රදළ බලයෙන් නිදහස් වූ පෙදෙසකි. එනිසා මාක්ස් උපන්නේ ධනේශ්වර සමාජයක ය. ඔහු ශිෂ්‍යයෙකු ලෙසින් සහ බුද්ධිමත් තරුණයෙකු ලෙසින් හැදී වැඩුණේ අර්බුදයට පත් ධනේශ්වර ක්‍රමය තුළ ය. කාල් මාක්ස් විසින්, මාක්ස්වාදය බිහිකරන්නට සුදුසුකම් ලබන්නේ මෙම පසුබිම තුළ ය.
ධනවාදය බිහිනොවන්නට මාක්ස්වාදය බිහිවන්නේ නැත. ධනවාදය යනු සූරාකෑමේ ආකාරය ඉතා කාර්යක්ෂම සහ කෲර තත්ත්වයකට පත් කළ සමාජ ක්‍රමයකි. තම පැවැත්ම උදෙසා ශ්‍රමය විකිණීම හැර රකින්නට තරම් කිසිදු දේපලක් නොමැති නිර්ධන (කම්කරු) පංතිය සොයාගන්නේ ධනවාදය විසින් ය. තාක්ෂණ දියුණුව උපරිම යොදාගනිමින් සූරාකෑම තනි තනි පුද්ගලයා ඉලක්ක කොට නොව සමාජමය ක්‍රියාවලියක් බවට පත් කරනුයේ ධනවාදය විසින් ය. ධනවාදයේ පැවැත්මේ අභ්‍යන්තර සාධක විසින්ම එය අවසාන පංති සමාජය බව මාක්ස් මනාව පැහැදිලි කරන ලදි. ධනේශ්වර සමාජය යනු දියුණුතම පංති සමාජය යි. එහි පවතින සූරාකෑමේ තීව්‍රතාව හා සූරාකෑමට ලක්වීමේ සාමූහිකත්වය විසින් මහා ප්‍රතිවිරෝධයක් නිමවන බව මාක්ස් විසින් ඉතා පැහැදිලිව සහ දාර්ශනික තර්කනයෙන් පෙන්වා දෙන ලදි. එම මතය බැහැර කළ නොහැක්කේ එහි දී මාක්ස් සමාජ සංවර්ධනයේ මූලධර්මයන්ට අනුකූලව ධනවාදයේ ඉරණම පෙන්වා දෙන්නට සමත්වූ නිසා ය.
සැබැවින්ම මාක්ස්වාදයේ කාර්යභාරය ධනවාදයේ ඉරණම පැහැදිලි කිරීම ය. තවදුරටත් ධනවාදයෙන් එහා මානව පැවැත්ම පැහැදිලි කිරීම ය. ඉන් නොනැවතී ඒ සඳහා ලෝකය වටහා ගැනීමෙන් එහා ගොස් එය වෙනස් කිරීමට විද්‍යාත්මක මඟක් ගැනීමේ සමාජ වගකීමට උරදීම ය. ධනවාදය තම සමාජ පැවැත්ම අහෝසි කරන නිර්ධන පංතිය බිහිකරයි. එම පංතිය සූරාකෑමේ මධ්‍යස්ථාන හෙවත් කර්මාන්තශාලා තුළ ඒකරාශි කරන්නේද ධනවාදය විසින්ම ය. අසීමාන්තික ලාභ අපේක්ෂාව විසින් සිදු කෙරෙන මෙම අසීමාන්තික කෲර සූරාකෑම ස්වයංව පාලනය කිරීමට ධනවාදයට නොහැක. එබැවින් පංති අවසන් කරන පංතිය වන නිර්ධන පංතිය නම් ද්‍රව්‍යමය බලයට චින්තනමය මඟ පෙන්වීමක් අවශ්‍ය විය. එම ඓතිහාසික සමාජ අවශ්‍යතාවය සපුරාලන්නට තම සගයා වන එංගල්ස් සමඟ එක්ව මාක්ස්ට හැකි විය. ඒ අනුව මාක්ස්වාදය නිර්ධන පංතිය නම් වූ සමාජ විප්ලවයේ ගාමක බලයට දෘෂ්ටිමය අවි සපයන ලදි. දයලෙක්තික තර්කනය තුළ ලෝකය විග්‍රහ කරගනිමින් එය වෙනස් කරන්නට මඟ පෙන්වන මාක්ස්වාදි දර්ශනයට ද්‍රව්‍යමය පදනමක් සකසන්නේ කම්කරු ව්‍යාපාරය විසින් ය. දර්ශනය නම් චින්තනමය ක්‍රියාවලිය පවතින, ද්‍රව්‍යමය පදනම වන්නේ නිර්ධන පංති සංවිධානය යි. එම සමස්ත දාර්ශනික චින්තන ක්‍රියාවලියම අහඹුවක් නොව මානව සමාජ සංවර්ධනයේ චින්තනමය අවශ්‍යතාවයක් සපුරාලීමකි. එනිසා මාක්ස්වාදය යනු සමාජ සංවර්ධනයේ ඉහළ අදියරකදී ඉල්ලා සිටින අනිවාර්යයකි.
මාක්ස්, නව ලෝක දර්ශනයක නිර්මාතෘවරයා වෙමින් කාල් මාක්ස් උපන්බිම, එකල ප්‍රසියාව හෙවත් දැන් ජර්මනිය ධනේශ්වර කර්මාන්තය වර්ධනය වූ රටක් විය. එනිසාම ධනේශ්වර ක්‍රමයක අධිපති පංතිය වන ධනේශ්වර පංතිය බිහිවී තිබුණි. කිසිසේත් වෙන්ව ගත නොහැකි ධනපති පංතිය සමඟ බිහිවී ධනපති පංතිය අහෝසි කරමින් තමන්ද අහෝසි වන ඉරණම සහිත නිර්ධන පංතියද ඒ සමඟම පැවැත්මට එළැඹිණි. රදළවාදයට එරෙහි අරගලයේදී ධනපති පංතිය ප්‍රගතිශීලීය. එහෙත් ධනවාදයේ පැවැත්ම වෙනුවෙන් අරගලයේදී ධනවාදය අතිශය ප්‍රතිගාමී ය.
මාක්ස් ගේ දෙමාපියන් මාක්ස් ගෙන් බලාපොරොත්තුවූයේ ඉහළ පන්නයේ උගතකු හෝ මහාචාර්යවරයෙකි. එකල මාක්ස්ගේ දෙමාපියන් ක්‍රමයෙන් අර්බුදයට පත් ධනපති ක්‍රමයට එරෙහිව නැඟෙන සමාජවාදය පිළිබඳ අරගලයන් පහත් කොට සැළකී ය. එහෙත් මාක්ස් ශිෂ්‍ය අවධියේ සිටම විප්ලවීය නැමියාවන් පෙන්වූ අයෙකි. මාක්ස් උසස් අධ්‍යාපනය ලැබූ පාසලෙන් ඉහළට යාම පිණිස ඉදිරිපත් කළ රචනාව “වෘත්තියක් තෝරාගැනීම පිළිබඳ තරුණයෙකුගේ අදහස්” යන්න ය. එහිදී ශිෂ්‍ය මාක්ස් පවසන්නේ මානව වර්ගයාගේ ඉහළ අරමුණු වලට සහය විය හැකි වෘත්තියක් තෝරාගැනීම තරුණයෙකුගේ වගකීම බව යි. “මානව වර්ගයාගේ යහපත සඳහා කැපවීම” යන්න එම රචනාවේ සාරාංශය යි. මහා චින්තක මාක්ස්, වර්ධනය වන දිශාව අංකුර මාක්ස්ගෙන් මෙසේ පිළිබිඹු වන්නට විය. තම දර්ශන විශාරද උපාධිය වෙනුවෙන් 1841 ලියා අවසන් කළ නිබන්ධනය වූයේ “ඩිමොක්‍රටිස්ගේ ස්වභාවික දර්ශනය සහ එපිකියුරස්ගේ ස්වභාවික දර්ශනය අතර ප්‍රභේද” යන්න යි. මාක්ස් එකල විල්හෙල්ම් හෙගල්ගේ විඤ්ඤාණවාදි මතය දරන්නෙකු විය. එහෙත් ඉන් සවාධීනව තරුණ මාක්ස් එපිකියුරස්ගේ ද්‍රව්‍යවාදි අරගලය අගය කරන්නට නිර්භීත විය.
මාක්ස් ඉතිහාසය, දර්ශනය සහ සාහිත්‍ය හැදෑරු අතර ජර්මන්, ග්‍රීක්, ලතින්, ප්‍රංශ, ඉතාලි, ස්පාඤ්ඤ, ඉංග්‍රීසි යන යුරෝපීය භාෂාවන් හොඳින් හදාරා තිබුණි. වයස පනහ ඉක්මවූ පසුවද එම භාෂාවන් ගෙන් රචිත පොත් කියවීමේ උවමනාව ප්‍රමුඛව රුසියන්, රුමේනියන් භාෂා කියවා තේරුම් ගත හැකි පමණට උගත්තේ ය. ඔහු ග්‍රීක නාට්‍ය කියවූයේ ග්‍රීක බසින් ය. මාක්ස් යනු පුදුමාකාර මතක ශක්තියක් සහිත කෙනෙකි. විශ්වකොෂීය දැනුමක් ඔහු සතු විය.
මාක්ස්ගේ විද්‍යාත්මක සහ දේශපාලන හැඩගැස්ම සිදුවන මේ අවධියේ අත්තනෝමතික රඳළ ක්‍රමයට එරෙහිව ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදි විප්ලව සහ ජාතික විමුක්ති ව්‍යාපාර පැන නැඟි යුගය යි. ධනේශ්වර ජාතික රාජ්‍ය බිහිකිරීමේ අරමුණෙන් ධනපති අරගල පැන නැඟුණු යුගය යි. එමෙන්ම ධනපති පංතිය හා නිර්ධන පංතිය අතර පංති අරගලයද වර්ධනය වෙමින් පැවැති අවධියයි.
චින්තන ධාරාවන් තුනක්
මානව චින්තන තර්කනයේ අවසන් ඵලය දර්ශනය යි. දර්ශනයේ එකම පිපාසය සොබාදහමේ සහ මානව සමාජයේ පැවැත්ම පිළිබඳ පොදු මූලධර්මයන් සොයාගැනීම යි. සියල්ලෙහි පැවැත්මේ වඩාත් ප්‍රථමික හෙවත් මූලික වන්නේ කුමක්ද යන්න සෙවීම යි. විශ්වය හා සමාජය තේරුම් ගතහැකිද යන්න සෙවීම යි. දර්ශනය සංවර්ධනයේ ධනේශ්වර සීමාව ජර්මන් දර්ශනය යි. ජර්මන් දර්ශනයේ උත්කර්ෂය වන්නේ දාර්ශනිකයින් තිදෙනෙකි. ඒ ජෝර්ජ් විල්හෙලම් ප්‍රෙඩ්රික් හෙගල් (1770- 1831), ලුඩ්විග් පොයබාර්හ් (1804 -1872) සහ එම්මානුවෙල් කාන්ට් (1724 – 1804) ය. හෙගල්ගේ දර්ශනය විටෙක පරමාත්මයක කැමැත්ත යන්නෙන් අවසන් වේ. එපමණක් නොව එය දයලෙක්තිකය නම් දැනුම වෙත ළඟා වන විධික්‍රමය හඳුන්වා දෙයි. මාක්ස් විශ්වවිද්‍යාල අවධියේ හෙගල්වාදියකු විය. ඔහු හෙගල්ගෙන් දයලෙක්තික විධි ක්‍රමය ගන්නා ලදි. පසුව මාක්ස්, පොයබාහ්වාදියකු බවට පත් විය. පොයබාර්හ් ගේ භෞතිකවාදය ගන්නා කාල් මාක්ස්, එය යාන්ත්‍රිකවාදයක් වන පාරභෞතිකවාදයෙන් මුදවා දයලෙක්තික භෞතිකවාදය බවට ගොඩනඟයි. ද්‍රව්‍ය පැවැත්මේ හා සංවර්ධනයේ ඓතිහාසික විග්‍රහය සහිත ඓතිහාසික භෞතිකවාදයත්, දයලෙක්තික භෞතිකවාදයත් එකම දර්ශනයක් තුළ අන්‍යොන්‍ය පරිපූර්ණත්වයකට පත් කරයි. ධනවාදි සීමාවෙහි සිරව සිටි දර්ශනය ඉන් මුදවා නව ලොවක් දකින සහ ඒ සඳහා කටයුතු කරන දර්ශනයක් බවට පත් කරන ලදි. මාක්ස් විසින් දර්ශනයෙහි එලෙස කරන ලද සංවර්ධනය හා ගමන් දිශාව මාක්ස්වාදය නම් විය.
මිනිසා, මිනිසකු බවට පත් වන්නේ තමන්ද ඇතුළු විශ්වීය පැවැත්ම තමන්ට නතු කරගැනීමට ඔහු ගන්නා උත්සාහයෙනි. ඔහු සොබාදහම දෙන දෙයින් සෑහීමකට පත් නොවේ. ඔහු උපකරණ නිමව යි. මිනිසා සොබාදහමේ නිර්මාණයක් වුවද, මිනිසා සියලු නිෂ්පාදන උපකරණයන්ගේ නිමවුම්කරුවා ය. එනම් ඔහු නිෂ්පාදකයෙකි. සොබාදහමේ පවතින දෙය තමනට අවශ්‍ය පරිදි වෙනත් දෙයක් බවට පත්කොට ගන්නෙකි. නිෂ්පාදනයේ, බෙදාහැරීමේ, හුවමාරුවේ සහ පරිභෝජනය පිළිබඳ විද්‍යාව වර්ධනය කරන්නේද මිනිස් චින්තනය විසින් ය. ආර්ථික විද්‍යාව යනු එම විද්‍යාව යි. සමාජ නිෂ්පාදන ක්‍රියාවලිය විග්‍රහ කරන ආර්ථික විද්‍යාව සම්භාව්‍ය තත්ත්වයට පත් වන්නේ එංගලන්තයේ ය. ඒ ඩේවිඩ් රිකාඩෝ (1772 -1823) සහ ඇඩම්ස්මිත් (1723 – 1790) ගේ මූලිකත්වයෙනි. සමාජ ධනය උපදින මූලාශ්‍රය සම්බන්ධ ප්‍රශ්නයේදී සම්භාව්‍ය ආර්ථික විද්‍යාව අසරණ විය. දේශපාලන ආර්ථික විද්‍යාවක් බිහිකරමින් මාක්ස් විසින් සියලු ධනේශ්වර ආර්ථික විද්‍යා සංකල්ප වර්ධනය කළේ ය. ශ්‍රමය, ශ්‍රම ශක්තිය, වැටුප්, ශ්‍රම සූරාකෑම, අතිරික්ත වටිනාකම, අතිරික්ත වටිනාකම් සංචිතය වන ප්‍රාග්ධනය, සමාජමය නිෂ්පාදනය, සමාජමය බෙදාහැරීම වැනි සංකල්පයන් ධනේශ්වර සංකල්ප සීමාවෙන් මුදවා එහි සැඟවුනු සත්‍යය හෙළිදරව් කළේ මාක්ස් විසින් ය. ධනේශ්වර පුද්ගලික දේපල සම්බන්ධතා ක්‍රමයේ අර්බුදය විසින් ඉල්ලා සිටින්නේ පොදු දේපල සම්බන්ධතා ක්‍රමයක් බව පවසමින් සමාජ පරිවර්තනයේ විෂයමූල අවශ්‍යතාවය හෙළි කළේද මාක්ස්වාදය යි. මාක්ස්, දර්ශනයේ මෙන්ම ආර්ථික චින්තනයේද දැවැන්ත සංවර්ධන පිම්මකට උරදුන්නේ ය.
මාක්ස්වාදය ඇදහිල්ලක් නොවේ. ක්‍රියාවට මඟ පෙන්වීමකි. දර්ශනය චින්තනමය බලයකි. එය මිනිස් චින්තනයේ උසස්තම ආකාරය යි. එහෙත් එය ද්‍රව්‍යමය බලයක් වන්නේ යම් නිශ්චිත සමාජ පංතියක අධ්‍යාත්මික අවිය වීමෙන් පමණකි. මාක්ස්වාදය සක්‍රිය සහ සජීවී වන්නේ එයට ද්‍රව්‍යමය බලයක් ආදේශවීමෙනි. මාක්ස්, මාක්ස්වාදයේ ද්‍රව්‍යමය බලය ලෙස නිර්ධන (කම්කරු) පංතිය සොයා ගනී. ධනේශ්වර ආර්ථිකයේ මූලික සෛලය හුවමාරු භාණ්ඩය බව මාක්ස් පෙන්වා දෙන ලදි. හුවමාරු භාණ්ඩය යනු මානව ශ්‍රමයේ කැටිවීම් බව මාක්ස් ඔප්පු කරන ලදි. එබැවින් සමාජ නිෂ්පාදනය සමාජය සතු වනතුරු ධනේශ්වර ආර්ථික අර්බුදය නිමනොවන බව මාක්ස් තාර්කිකව පෙන්වා දෙන ලදි. එබැවින් මාක්ස්ට පෙර ප්‍රංශයේ (චාල්ස් පූරියේ, තොමාසෝ කැම්පනෙල්ලා, තෝමස් මුවර් සහ එංගලන්තයේ රොබට් ඕවන්) පැවැති මනෝරාජික සමාජවාදයට එරෙහිව ධනේශ්වර අර්බුදය ඉල්ලා සිටින්නේ විද්‍යාත්මක සමාජවාදය බව මාක්ස් පැවසී ය. එම සමාජ පරිවර්තනයේ ගාමක හෙවත් ඉදිරියට ගෙන යන බලය නිර්ධන පංතිය ප්‍රමුඛ වැඩකරන පංතිය බවත් ඔහු පෙන්වා දෙන ලදි. එම පංතිය දේශපාලන ව්‍යාපාරයක් ලෙස සංවිධානය කිරීමේ වැදගත්කම දුටු මාක්ස් තම සගයා එංගල්ස් සමඟ 1848 කොමියුනිස්ට් සංගමය ගොඩ නඟන ලදි. ඉන් ඔබ්බට ගොස් 1864 පළමු ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය හෙවත් පළමු ජාත්‍යන්තරය ගොඩනඟන ලදි. ලොව පළමු කම්කරු රාජ්‍ය වන පැරිස් කොමියුනය 1871 මැයි 18 බිහිවිය. එය දින 72කින් බිඳවැටුණි. මාක්ස් සහ එංගල්ස් ඉන් උගත් පාඩම යම් වෙනත් පංති උවමනාවකට ගොඩනංවා තිබෙන රාජ්‍යයක් නිර්ධන පංතිය ප්‍රමුඛ වැඩකරන පංතියේ අරමුණ වෙනුවෙන් යොදාගත නොහැකි බව යන්න යි. එහි අර්ථය නිර්ධන පංති රාජ්‍ය බලය සමාජවාදයේ මූලික කොන්දේසියකි යන්න ය. මෙලෙස මාක්ස්, තම සගයා එංගල්ස් සමඟ ඉදිරිපත් කළ දර්ශනය ලෙනින් විසින් සංවර්ධනය කළ බැවින් එය මාක්ස් ලෙනින්වාදය නම් විය.
මේ අනුව මාක්ස් යනු හුදු පොතේගුරුවාදියකු හෝ අන්ධ ප්‍රායෝගිකවාදියකු නොවන මහා චින්තකයා ය. ප්‍රාඥයා ය. ආර්ථික විශේෂඥයා ය. විද්‍යාත්මක කොමියුනිස්ට්වාදියා ය. ඒ උදෙසා තම පෞද්ගලික ජීවිතය දෙවෙනි කොට කැපවූ ප්‍රායෝගික විප්ලවවාදියා ය.
ධනුෂ්ක හර්ෂණ වික්‍රමරත්න