පුරුද්දක් යනු මානව සමාජයේ සියුම් ඇබ්බැහි වීමකි.ඇතැම් විටෙක එය සිතුවිලි පද්ධතියෙන් හෝ දැනුම් පද්ධතියෙන් පිටත පිහිටන ක්‍රියාවලියකි. එය එක්තරා අන්දමකට ඇබ්බැහි වීමක් ලෙස හඳුන්වනුයේ ඒ හේතුවෙනි. හොඳ පුරුදු, නරක පුරුදු යනුවෙන් දෙවර්ගයක් පැවතුණේ ඒ අනුවය. මනෝවිද්‍යාඥයන් සඳහන් කරන පරිදි ඒ සියල්ල ඇබ්බැහි වීම්ය.
ජනතාව මෙපමණ කාලයක් මුළුල්ලේ ඡන්දය භාවිත කළේ එකී පුරුද්දේ බලය වෙනුවෙනි. දේශපාලනික සබුද්ධිකභාවය වෙනුවට බහුතර ජනතාව ඥාති හිත මිතුරුකම් හෝ වෙනත් පුද්ගල සාධක මත මැතිවරණවලදී ඡන්දය භාවිත කළහ. මෑත කාලය පුරා රටේ ජනතාවගෙන් බහුතරයක් එකී පුරුද්දේ බලයෙන් අත්මිදෙනු දැකීම එක්තරා අන්දමක සතුටට කාරණයක් ය. දේශපාලනික ක්‍රියාවලියකදී පුරුද්දේ බලයට වඩා විශ්වාසයේ බලය අතිශය වැදගත් ය.
ඕනෑම දෙපාර්ශ්වයක් අතර යහපත් සන්නිවේදනයක් ඔස්සේ ගෞරව පූර්වක ගනුදෙනු ඔස්සේ අන්‍යෝන්‍ය අවශ්‍යතාව ඔස්සේ ගොඩනැඟෙන ප්‍රශංසනීය මනෝභාවය විශ්වාසය ලෙස හඳුන්වනු ලැබේ. විශ්වාසයේ බලය ගොඩනැඟෙනුයේ ද ඒ අනුව ය. ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පුරුද්දේ බලය මත ස්ථාපිතව තිබූ ජන සමාජයක් විශ්වාසයේ බලය මත ඒකරාශි වීම යහපත් කාරණයකි.
‘දැන් තවදුරටත් අපට තිබෙන්නේ පුරුද්දේ බලය නොවෙයි. විශ්වාසයේ බලයයි. ඒ රට ගොඩනැඟිය හැකි යැයි යන විශ්වාසයේ බලයයි. ඒ මත පදනම්ව සමාජ පරිවර්තන උදෙසා එකතු වන්නයි’ ජනාධිපතිවරයා මෙවර මැයි දින රැලියේදී ප්‍රකාශ කළේය.
පුරුද්දක් යනු මානව සමාජයේ ඉදිරි ගමන සඳහා යහපත් ප්‍රවේශයක් සපයන යමක් වුවත් එය වඩාත් විශ්වසනීය ගමනාන්තයක් දක්වා රැගෙන යන්නේ එකී පුරුද්දේ බලයට විශ්වාසයත් එකතු වූ විට ය. එමනිසා මේ මොහොතේ ජන සමාජයට වඩාත් අත්‍යවශ්‍යව ඇත්තේ විශ්වාසය මත පදනම් වූ පාලන ක්රමයකි.
ජනාධිපතිවරණය, මහමැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ තුනේදීම නිරූපිත ඡන්ද ප්‍රතිඵලවලින් ප්‍රකාශයට පත් වන්නේ එයයි. මෙපමණ කාලයක් මුළුල්ලේ සිදු වූයේ ජනතාව විවිධ කණ්ඩායම් හා කල්ලි පිළිබඳව විශ්වාසය තබා මැතිවරණවලින් අනතුරුව එම විශ්වාසය පළුදු කර ගැනීමේ ක්‍රියාවලියකි.
විශ්වාසයේ බලය ගොඩනැඟෙන්නේ කිසියම් සමාජ දර්ශනයක් මත ය. වැඩපිළිවෙළක් මත ය. එය පුද්ගල සාධක මත ගොඩනැඟෙන්නක් නොවේ. පොදු සමාජයේ පිළිගැනීමට ලක්වූ නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන නායකත්වයක් කෙරෙහි ජනතා විශ්වාසය ඒකරාශී වීම වැළැක්විය නොහැකි කරුණකි. මෙම කාරණා තේරුම් ගැනීම හා අවබෝධකොට ගැනීම සිදු කළ යුත්තේ සාම්ප්‍රදායික දේශපාලනය පටු දෘෂ්ටික මතවල සිට නොව නවීන විද්‍යාත්මක දේශපාලනික සමාජ දර්ශනයන් මත පිහිටා ය. අප විසින් සමාජ දේශපාලනික ආර්ථික සැලසුම් සකස් කළ යුතුව ඇත්තේ වර්තමානය මත පිහිටා අනාගත අවශ්‍යතා මත පදනම්ව ය. ඒ නිසා අපගේ සිතුවිලි චින්තනය සහ ආකල්ප පද්ධතීන් අනාගත ලෝකය මත පදනම්ව තිබිය යුතුය.
බලය ලබා ගැනීමට වඩා දුෂ්කර වන්නේ බලය පවත්වා ගැනීමේ ක්‍රියාවලියයි. කෙටිකාලීන අපේක්ෂාවලින් සපිරි ජන සමාජයක පුද්ගල මනෝභාවය ඕනෑම අවස්ථාවක පලුදු විය හැකිය. යහපත් සමාජ දේශපාලනික සන්නිවේදනයක් අත්‍යවශ්‍ය වන්නේ ඒ අවස්ථාවේදී ය. සෘණාත්මක ආකාරයේ ආකල්පවලට විසඳුම ඇත්තේ සන්නිවේදනයෙන් මිස අන් කවරකින්වත් නොවේ. නිශ්චිත සැලසුමක් ඇති වැඩසටහනක් ජන සමාජයට අත්‍යවශ්‍ය වන්නේ ඒ හේතුවෙනි. අව වරප්රසාදිත ජනතාවට සාධාරණය ඉටුකරගත හැකි වන්නේ එවන් වූ වැඩපිළිවෙළක් මඟිනි.
වර්තමානයේ ශ්‍රී ලාංකේය ජන සමාජය ජනතාවට මැතිවරණ ක්‍රමවේදයක් මඟින් විකල්පය සොයාගැනීම සඳහා බලය භාවිත කිරීමට හැකි විය. එය ප්රජාතන්ත්රවාදී ලක්ෂණයකි. දැන් ඇත්තේ එකී විකල්පය සමාජ පරිවර්තනයක් උදෙසා යොමු කරවා ගැනීමේ කාර්යයයි. අතිශය දුෂ්කර වුව ද අසීරු වුව ද වඩාත් කැප කිරීම් කළ යුත්තේ එම අවස්ථාවේදීය.
ජනතාවට කළ හැකි වන්නේ කිසියම් නිශ්චිත දර්ශනයක් හෝ වැඩපිළිවෙළක් අනුමත කිරීම සඳහා ස්වකීය ඡන්දය භාවිත කිරීම පමණකි. බලය සීරු මාරු කරගත හැක්කේ එමඟිනි. දැන් ඇත්තේ එම වැඩපිළිවෙළ ප්රායෝගිකකරණය කිරීමේ අවස්ථාවයි. ඒ සඳහා පෙරට වඩා කැප කිරීම් කළ යුතුව ඇත. ජනතාවට කතිරය භාවිත කිරීමෙන් අනතුරුව නිශ්ශබ්දව ස්වකීය කුටුම්භ රක්ෂණයෙන් පමණක් මෙම කාර්යය ඉටු කළ හැකි නොවේ. වැඩ බිමේ, පාසලේ, කාර්යාලයේ, මහ මඟ, බස් රථයේ ආදී විවිධ ස්ථානවල ඔවුනට හිමි කාර්යයක් ඇත. එය ප්‍රායෝගික සීමාව තුළ නිර්මාණය වුණු කාර්යයක් මෙන්ම මානසික හා ආකල්පමය කාර්යයක් ද විය හැකිය. විශ්වාසයේ පදනම දාර්ශනිකව සමාජගත කිරීම සඳහා එකී සන්නිවේදන දායකත්වය අත්‍යවශ්‍ය ය.
මැතිවරණයක් හමාර වීමෙන් අනතුරුව ජයග්‍රාහකයන් සහ පරාජිතයන් නිර්මාණය වීම සාමාන්‍ය කාරණයකි. පරාජිතයන් අවතක්සේරු කිරීම හෝ ජයග්රහණයෙන් උද්දාමයට පත්වීමෙන් පමණක් සමාජයකට අත්වන කිසිදු සුගතියක් නැත.
දැන් මැතිවරණ තුනක් හමාර වී තිබේ. දැන් ඇත්තේ කතාවට වඩා වැඩ කරන කාලයයි. එහිදී ජයග්‍රාහකයන් සහ පරාජිතයන් යනුවෙන් දෙකොට්ඨාසයක් සිටිය නොහැකිය. ඔවුහු සියල්ලෝම මේ රටේ මහජනතාව ය. ඒ නිසා ඉදිරි වැඩසටහන් සහ සැලසුම් සකස් විය යුත්තේ මේ රටේ පොදු මහජනතාව ඉලක්කොට ගෙන විනා ජයග්‍රාහකයන් හා පරාජිතයන් ඉලක්ක කොට ගෙන නොවේ. පරාජිත යයි නාමකරණය වූ කොට්ඨාසය ද රටේ ජාතික සංවර්ධනය සඳහා හවුල් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. ඒ සඳහා වන පසුබිම සකස් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
ඉතාමත් සරල දේශපාලනික යථාර්ථය නම් මෙරට ප්‍රභූ දේශපාලනය හමාර වී නිර්ප්‍රභූන් ආණ්ඩුකරණ ක්‍රියාවලියට ඍජුව සහ සක්‍රීයව සහභාගි වන විට ප්‍රභූන් සහ ඉහළ මධ්‍යම පංතිය විසින් මෙතෙක් භුක්ති විඳිනු ලැබූ බලය සහ වරප්‍රසාද අහිමි වීම සිදු වනු ඇත.
එය ඔවුන්ගේ බලය අභියෝගයට ලක්වීමක් වන හෙයින් ඔවුහු පොදු ජනතා වැඩපිළිවෙළේ සතුරන් බවට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත. ඒ සඳහා ජාතික ඉලක්ක සහ අභිලාෂ පරාජය කිරීමට එකී ප්‍රභූ දේශපාලනිකයෝ විවිධ ක්‍රියාමාර්ග තේරීම සිදු කරනු ඇත. පොදු ජනතාවට මෙකී දේශපාලනික උප්පරවැට්ටි හඳුනා ගැනීමට අවශ්‍ය දේශපාලනික සබුද්ධිකභාවය තිබිය යුතු ය.
එසේ නම් මේ එළඹ ඇත්තේ විධායක ජනාධිපති ධුරය, ව්‍යවස්ථාදායකය, ආණ්ඩු ක්‍රමය, රාජ්‍ය පාලන ව්‍යුහය, රාජ්‍ය පාලන ආයතන සමාජ ධුරාවලිය තුළ රටේ පොදු ජනතා යහපත වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී ආකාරයෙන් බලය භාවිත කිරීම සිදු කරන්නේ කවර ආකාරයෙන් ද යන්න ප්‍රායෝගිකව පෙන්නුම් කරන කාලසීමාවයි. දේශපාලනික ආයතන රටේ තිරසර සංවර්ධනයට සහ පොදු මානව සංයුතියේ යහපතට යොදාගන්නා ආකාරය ප්‍රායෝගිකව පෙන්නුම් කරන කාලසීමාවයි. එමනිසා ඉදිරියේදී තරගය නිර්මාණය වනුයේ පක්ෂය සහ විපක්ෂය අතර ක්‍රියාවලින් ප්රායෝගිකකරණය කිරීම පිළිබඳව වන අභියෝගය තුළයි.
‘අභියෝගය ඇත්තේ පිටතින් නොව තමන් තුළම’ බව ජනාධිපතිවරයා සඳහන් කළේ ඒ හේතුවෙනි. දැන් අතීත සාම්ප්‍රදායික දේශපාලනික බලකණු බිඳවැටී ඇත. නව දේශපාලන සිතියම සහ නැවත දේශපාලන චින්තනය සමාජ පරිවර්තනයක් සඳහා යොදාගැනීමට බලය භාවිත කිරීම මේ මොහොතේ ඇති දාර්ශනික දේශපාලනික අභියෝගයයි. එය නිවැරැදි ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කිරීමට පුරවැසි සහභාගිත්ව ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය ය. විචාරාත්මක පුරවැසි සමාජයක් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍ය වනුයේ ඒ හේතුවෙනි. එමනිසා නිවැරැදි සමාජ පරිවර්තනයක් සඳහා සෘජු සක්‍රීය පුරවැසි දායකත්වය අත්‍යවශ්‍ය ය. පුරවැසියා ඡන්දයෙන් අනතුරුව දේශපාලනයෙන් පිටමං කිරීම නතර කළ යුතුය.
සමානාත්මතාව විවෘතභාවය සහ වගවීම සමාජ සාධාරණත්වය වැනි ක්‍රියාවලින් ඔස්සේ මහජන නියෝජිත ආයතන පුරවැසියාට වගකියන ආයතන බවට පත් කළ යුතුව ඇත. විධායකය, ව්‍යවස්ථාදායකය සහ පළාත් පාලන ආයතන දක්වා වූ සියලු ව්‍යුහ මෙන්ම සියලු ආයතනික ව්‍යුහයන් තුළ ද මෙකී සමාජ වෙනස සිදු විය යුතුව ඇත. එකී සුබවාදී වූ සමාජ පරිවර්තනය සඳහා දේශපාලනික බලය සහ ආයතනික ව්‍යුහය භාවිත වනු ඇතැයි අපි ඉත සිතින් බලාපොරොත්තු වන අතර ඒ සඳහා වඩාත් සුබවාදී අපේක්ෂාවෙන් ද පසු වන්නෙමු.