Home » ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කරන්න පළාත් පාලන ආයතන ඉතා වැදගත්

ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කරන්න පළාත් පාලන ආයතන ඉතා වැදගත්

-පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය රමේෂ් රාමසාමි

by sachintha
May 7, 2025 2:48 am 0 comment

ගමේ නියෝජිතයාට ජනතාව සමීපයි

රටක සංවර්ධනයට කාන්තා දායකත්වය අත්‍යවශ්‍යයි

දැන් පළාත් පාලන මැතිවරණය පවත්වා ප්‍රතිඵල ද නිකුත් කර තිබේ. පැවැති අඩුපාඩු මඟහරවා ගනිමින් වඩා කාර්යක්ෂම මහජන සේවාවක් මෙම ආයතන මඟින් සිදු කිරීමට ඇති හැකියාව හා ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය රමේෂ් රාමසාමි මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

මෙරට පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමට පුරෝගාමී වූයේ ඉංග්‍රීසි පාලකයින්. ඔවුන්ගේ කාලයේ ආරම්භ කළ මහ නගර සභා කිහිපයක්ම අදටත් ක්‍රියාත්මකයි. මෙමඟින් පැහැදිලි වන්නේ මෙවැනි ආයතන ශක්තිමත් කිරීම මඟින් ග්‍රාමීය මට්ටමේ සංවර්ධන කටයුතු වඩා වේගවත්ව මෙන්ම ඵලදායි ලෙස ඉටු කිරීමේ හැකියාවක් පවතින බව සුදු ජාතිකයින් ද පිළිගෙන තිබූ බව නේද?

ලංකාවේ පළාත් පාලන ආයතන හා සම්බන්ධ ඉතිහාසය ඉංග්‍රීසි පාලන සමය දක්වාම ඈතට ඇදී යනවා. මෙරට ප්‍රථම මහ නගර සභාව විදිහට කොළඹ මහ නගර සභාව පිහිටුවනු ලබන්නේ, යටත් විජිත පාලන සමයේදී යි. ඊට පස්සේ සුදු ජාතිකයින් මහනුවර, ගාල්ල මහ නගර සභා ස්ථාපිත කළා. ඒ විදිහට තමයි මේ පළාත් පාලන ආයතනවල ආරම්භය මේ දක්වා විකාශනය වුණේ. මේ ආයතන ස්ථාපිත කිරීම මඟින් ගම් මට්ටමේ නැත්නම් බිම් මට්ටමේ තිබෙන සමාජ, ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න පුළුවන් කියන විශ්වාසය සුදු ජාතිකයින්ට තිබුණා. දේශපාලන හා සංවර්ධන ක්‍රියාවලිය තුළ මහජනතාව ඍජුවම සම්බන්ධ කරගන්න පළාත් පලාන ආයතන මඟින් හැකි බව ඔවුන් තේරුම් ගත්තා. මේ ආයතනවලට වැඩ කරන්න ස්වාධීන අයිතිය ලබා දීමට ඔවුන් කටයුතු කිරීම තමයි මෙහි දී අවධානය යොමු කළ යුතු ප්‍රධානතම කාරණය. ලබාදුන් බලතල හා සම්පත් පාවිච්චි කරලා විශාල වැඩ කොටසක් ගම් මට්ටමින් කරන්න ඒ ආයතනවලට හැකියාව තිබුණා. මෙම කරුණු සමඟ අපට බිම් මට්ටමේ මහජනතාව එක්ක වැඩ කරන ආයතනයක් ලෙස පළාත් පාලන ආයතන හඳුනාගත හැකියි. ලෝකයේ හැම රටක්ම වගේ පළාත් පාලන ආයතන පිහිටුවීමට ප්‍රධාන අවධානයක් යොමු කළේ ග්‍රාමීය සංවර්ධනය වේගවත් කිරීමට එමඟින් අවකාශ සැලසෙන නිසයි. අනිත් පැත්තෙන් සංවර්ධන ක්‍රියාවලිය තුළ මහජන සහභාගිත්වය තහවුරු කිරීම වැදගත් වුණා.

එහෙත් අද වන විට පළාත් පාලන ආයතන ව්‍යුහය තුළින් මේ අපේක්ෂා කරන ප්‍රතිඵල ලැබෙනවා ද කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා නේද?

ලංකාවේ සෑම පුරවැසියෙකුටම තමන්ගේ හෝ ප්‍රදේශයේ හෝ ප්‍රශ්න ගැන කතා කරන්න පාර්ලිමේන්තුවට යන්න බැහැ. අඩුගානේ ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හම්බවෙන්නත් ආමාරුයි. අපේ රටේ තිබෙන දේශපාලන ආයතන රාමුව හැඩගැහිලා තිබෙන ආකාරය අනුව පළාත් සභා මන්ත්‍රීවරයකුට වුණත් මේක කරන්න බැහැ. තමන් මුහුණ දෙන සමාජ හා ආර්ථික ප්‍රශ්න පිළිබඳව පහසුවෙන් ගිහින් කතා කරන්න ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලබා ගන්න පුද්ගලයකුට තිබෙන එකම ආයතනය තමයි පළාත් පාලන ආයතනය. ඒ නිසා තමයි මේකට පුංචි ආණ්ඩුව, ප්‍රාදේශීය ආණ්ඩුව, ගමේ ආණ්ඩුව කියලා කියන්නේ. මේ ආයතන මඟින් මහජන අවශ්‍යතා ඉටු කරන්න නම් මහජනතාවගේ සහභාගිත්වය මේ සඳහා ලබාගැනීම ඉතා වැදගත්. ඉන්දියාව ගත්තොත් පළාත් පාලන ආයතන ක්‍රියාවලිය තුළ මහජනතාව ඉතා ක්‍රියාකාරීව සහභාගිත්වය දක්වනවා. පළාත් පාලන ආයතන මඟින් තීන්දු තීරණ ගන්න ක්‍රියාවලිය තුළ මහජන සහභාගිත්වය ඉන්දියාවේ ඉතා ඉහළින්ම තිබෙනවා. ඒ වගේම ඉන්දියාවේ පළාත් පාලන ආයතනවලට මූල්‍ය ස්වාධීනත්වය තිබෙනවා. ලංකාවේ තත්ත්වය බැලුවොත් එවැනි පරිසරයක් තාම ඇතිවෙලා නැහැ. මහජනතාවගේ සහභාගිත්වය ඉතාම පහළ මට්ටමක තිබෙන්නේ. මිනිස්සු ගමේ ආණ්ඩුවට පුද්ගලයෝ පත්කරලා යවනවා.

ඔබ පවසන ආකාරයට සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කරන්න මේ පළාත් පාලන ආයතන ඔස්සේ වැඩි ඉඩක් තිබෙනවා. නමුත් ඡන්දය ලබාදුන් පුද්ගලයා මෙන්ම සභිකයා ද පළාත් පාලන ආයතන මඟින් ලබාගත හැකි සහ කළ හැකි සේවය නොදන්නා නිසා අදාළ අරමුණු මේ ආයතන මඟින් ඉටු නොවන තත්ත්වයක් ඇතිවෙලා නේද?

සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කරන්න මේ පළාත් පාලන ආයතන ඉතා වැදගත් කියන එක මුලින් අපි තේරුම් ගන්න ඕන. මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව මඟින් පළාත් පාලන ආයතන හිතාමතාම දුර්වල කර තිබෙනවා. මේ ආයතන ශක්තිමත් වුණා නම් මහජනතාවට වැඩක් කර ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඇමැතිවරු පස්සේ යන්න ඕන නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඇවිත් තමන්ගෙ ගමේ ප්‍රශ්න විසඳන්න ඕන කියලා මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. පළාත් පාලන ආයතන ශක්තිමත් වුණොත් තමන්ගෙ බලතල නැතිවෙයි කියන බය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට තිබෙනවා. පළාත් සභාවේ මන්ත්‍රීවරුත් හිතන්නෙත් එහෙමයි. මේවා නැති කළොත් තමයි ප්‍රාදේශීය සභාව මඟින් අපේක්ෂිත සේවය කරන්න පුළුවන් පසුබිම සකස් වෙන්නේ. ප්‍රාදේශීය සංවර්ධනය තමයි අපි මේ ආයතන ව්‍යුහය තුළින් අපේක්ෂා කරන්නේ. ගමේ ජනතාවට ජල, සෞඛ්‍ය සහ මාර්ග ප්‍රශ්න තිබෙනවා. මේවාට විසඳුම් දෙන්න ප්‍රාදේශීය සභාවේ, නගර සභාවේ මැදිහත් වීම බැලුවොත් ඉතා අවමයි. මේවා කරගෙන යන්න පළාත් පාලන ආයතනවලට හැකියාව නැද්ද? නැත්නම් වුවමනාවක් නැද්ද කියන එක අලුත් සභිකයෝ අධ්‍යයනය කරන්න ඕන. තමන්ව මහජනතාව නියෝජිතයකු ලෙස ප්‍රාදේශීය සභාවට පත් කරලා තිබෙන්නේ ඇයි කියන එක මුලින් මේ සභිකයෝ තේරුම් ගත යුතුයි. එය තේරුම් නොගෙන තමන්ට ඉහළින් සිටින හෝ තමන්ට දේශපාලනය සඳහා අත දුන් ආසන සංවිධායක හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මත යැපෙන්න මේ අය උත්සාහ කරනවා නම් ඉන් ජනතාවට අත්වන යහපත් ප්‍රතිඵලයක් නැහැ.

මෙරට පළාත් පාලන ආයතනවලට ලැබෙන ආදායම් එකිනෙකට වෙනස්. මේ නිසා එක් එක් පළාත් පාලන ආයතන මඟින් සිදු කෙරෙන මහජන සේවාවන් අතර විශාල පරස්පරතා දකින්න ලැබෙනවා නේද?

පැහැදිලිවම එවැනි තත්ත්වයක් දකින්න ලැබෙනවා. මහනුවර, නුවරඑළිය සහ කොළඹ මහ නගර සභා ගත්තොත් ඒවට ආදායම් එන මාර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. නෝර්වුඩ් වගේ ප්‍රාදේශීය සභාවක් ගත්තොත් නගර සභා සතු ගොඩනැඟිලිවලින් ලැබෙන බදු මුදල් තමයි ප්‍රධාන ආදායම. තමන්ගෙ පළාත් පාලන ආයතනයේ ආදායම් වැඩි කර ගන්න මේ පත්වන සභිකයින් නිර්මාණශීලි විය යුතුයි. පත් වුණාට පස්සෙ පක්ෂ විපක්ෂ භේදයක් ඇතිකර නොගෙන ජනතා සේවය වෙනුවෙන් අවංකව කැපවෙනවා නම් ගොඩක් ප්‍රශ්න අවම කර ගත හැකියි. දැන් බලන්න ඡන්දයෙන් පස්සේ සභිකයින් පත්වුණාට පස්සේ තමන්ගෙ පක්ෂයෙන් සභාපති පත්කරන්න මේ අය කරන දේවල්. ඒකට තිබෙන උනන්දුව ජනතාවට සේවය කරන්න නැහැ. මේ සභාපති පත්කිරීමේ ක්‍රියාවලිය තුළ එකම පක්ෂයේ අයත් ගහමරා ගන්නවා. ජනතාවට මේ ආයතන එපා වෙලා තිබෙන්නේ මේ වගේ හේතු නිසයි. සභාවට පත් වූ දවසේ ඉඳන් පක්ෂ විපක්ෂ ිකණ්ඩායම් දෙකට බෙදිලා චෝදනා එල්ල කර ගන්නවා. මේ ක්‍රමය වෙනස් විය යුතුයි. පළාත් පාලන ආයතන කියන්නේ කොන්ත්‍රාත් කරන ස්ථානයක් විදිහට තමයි ජනතාව සලකන්නේ. පාරවල් කොන්ක්‍රීට් කරන එකේ ඉඳන් පාරට තාර දාන එක දක්වාම තමන්ගෙ හිතවතුන්ට කොන්ත්‍රාත් දීලා ඒකෙන් ගාණක් බෙදාගන්න තමයි සභිකයෝ උත්සාහ කරන්නේ කියලා චෝදනාව ගමේ තිබෙනවා. අලුත් සභාවලින් හෝ මේ තත්ත්වය වෙනස් විය යුතුයි. ඒ සඳහා පත්ව සිටින සියලු මහජන නියෝජිතයින්ට විශාල වගකීමක් පැවරෙනවා.

ජාතික මට්ටමෙන් විසඳුම් සෙවීමට සිදුව තිබෙන ගැටලු බොහොමයක් මුලින් ආරම්භ වන්නේ ග්‍රාමීය මට්ටමින් ඒවාට විසඳුම් නොලැබෙන නිසයි. ඊට උදාහරණ ඕනෑ තරම් තිබෙනවා. මෙම පසුබිම තුළ පළාත් පාලන ආයතන මීට වඩා ගම් මට්ටමේ ප්‍රශ්නවලට සක්‍රිය දායකත්වයක් දැක්විය යුතුව තිබෙනවා නේද?

දැන් බලන්න ව්‍යාපාරයක් ආරම්භ කරන්න වෙළෙඳ බලපත්‍රය දෙන්නේ සභාවෙන්. මරණයක් වුණොත් ආදාහනාගාරය වෙන් කර ගන්න මුදල් ගෙවන්න ඕන සභාවට. ගොඩනැඟිල්ලක් ඉදි කරනකොට ප්ලෑන අනුමත කර ගන්න යන්න වෙන්නෙත් සභාවට. වාහන ගාල් කරන්න ටෙන්ඩර් දෙනවා. ත්‍රීවීල් පාක්වලින් බදු අය කරනවා. අනවසර ඉදි කිරීම් කියන එක අද ලොකු ගැටලුවක්. වතුර බහින කානු විතරක් නොවෙයි පිඟාඔයත් හරස් කරලා ගොඩනැඟිලි ඉදි කරලා. පොඩි වැස්සක දී නගර කිහිපයක් යට වෙනවා. සභාවේ නියෝජිතයෝ හරියට වැඩක් කරනවා නම් මේ ප්‍රශ්න ජාතික මට්ටම දක්වා යන්නේ නැහැ. සභාව කරන වැරදි නිසා විසඳුම් සොයන්න වෙලා තිබෙන්නේ ජාතික මට්ටමින්. මෙන්න මේ නිසා සභාව ජනතාව ඉදිරියේ හෑල්ලු වෙනවා. අනිත් පැත්තෙන් සභාවේ වැඩ කටයුතුවලට මධ්‍යම රජය අනවශ්‍ය මැදිහත් වීමක් කරනවා. සභාපතිට මුදල් දීලා ප්ලෑන් පාස් කර ගන්න ව්‍යාපාරිකයෝ ඉන්න බව අපි කවුරුත් දන්නවා. මහජන නියෝජිතයෝ මුදලට කෑදර වෙලා ජනතාවට එරෙහිව වැඩ කරනවා නම් තවදුරටත් මේ පළාත් පාලන ආයතන කෙරෙහි ජනතාව විශ්වාසය නොතබන බව සභිකයෝ තේරුම් ගත යුතුයි.

පළාත් පාලන ආයතන සඳහා 25%ක කාන්තා නියෝජනයක් හඳුන්වා දීමෙන් අපේක්ෂිත අරමුණු ඉටුවුණා කියා ඔබ විශ්වාස කරනවාද?

මේ කෝටාව ලබාගැනීම ලොකු ජයග්‍රහණයක්. සභාවකට කාන්තා සහභාගිත්වය ඉතා වැදගත්. රටක් සංවර්ධනය කරන්න නම් මේ අයගේ දායකත්වය ලබාගත යුතුයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී කාන්තාවන් 990 දෙනකු පළාත් පාලන ආයතන නියෝජනය කළා. ඒ අය මොනවද කළේ කියන එක ගැන නම් සතුටින් කතා කරන්න පුළුවන්කමක් නැහැ. පළාත් පාලන ආයතන තාමත් පුරුෂාධිපත්‍යයට යටවෙලා. තීන්දු තීරණ ගනිද්දී කාන්තාවන්ගේ අදහස් හා යෝජනාවලට ලැබෙන්නේ අඩු ඉඩක්. පත් වූ කාන්තාවන් සුදුසු ද කියන කාරණය කෙරෙහිත් අවධානය යොමු කළ යුතුයි. කොට්ඨාස මට්ටමින් තරග කළ කාන්තාවන් බහුතරයක් පරාදයි. ජනතාව ඒ අයට ඡන්දය දුන්නේ නැහැ. සභාවේ 25%ක කාන්තා නියෝජනය බොහෝ විට සම්පූර්ණ කළේ ලැයිස්තුව මඟින් අවස්ථාව දීලයි. තරග කළ හා ලැයිස්තුවලින් නම් කළ කාන්තාවන් බහුතරයක් ආසන සංවිධායකවරයාගේ හෝ බිරියගේ හිතවතියන්. තමන්ගේ කාර්යාලයේ ලියුම් ටයිප් කරන කෙනා තමයි කාන්තා නියෝජිතයා විදිහට දැම්මේ. නැත්නම් බිරියගේ නංගී. මේ විදිහට කාන්තා නියෝජනය වැඩි කරලා අපේක්ෂා කරන ප්‍රතිඵල ලබාගන්න බැහැ. පළාත් පාලන ආයතනවලට අලුතින් පත්වූ මන්ත්‍රීවරියන් තමන්ගේ භූමිකාව නිවැරදිව තේරුම් ගෙන කටයුතු කළ යුතුව තිබෙනවා.

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුව වැඩ කරන සංස්කෘතියක් තාමත් පළාත් පාලන ආයතන තුළ දක්නට ලැබෙන්නේ නැහැ නේද?

දැන් බලන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ජනතාව දෙන තැන ප්‍රාදේශීය සභාවට දෙනවද? මේ වන විට ප්‍රාදේශීය මට්ටමින් බලවත් ආයතනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යි. මහජනතාව වැඩිපුර සම්බන්ධ වෙන්නේ ලේකම් කාර්යාලය සමඟයි. මධ්‍යම රජයේ ගොඩක් සංවර්ධන වැඩ සැලසුම් කර ක්‍රියාත්මක කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟිනුයි. රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව ප්‍රාදේශීය සභාවල වැඩ වෙනවා අඩුයි. සභාපති නියෝජනය කරන පක්ෂයේ ඔහුට ඉහළින් සිටින ප්‍රබලයාගේ අවශ්‍යතා අනුව තමයි ගොඩක් සංවර්ධන වැඩ සැලසුම් කෙරෙන්නේ. මහජන නියෝජිතයෙකු ගොඩනැඟෙන පෙර පාසල විදිහට තමයි පළාත් පාලන ආයතනය සැලකෙන්නේ. නමුත් ඒ සංස්කෘතිය තාමත් අපේ රටේ දක්නට ලැබෙන්නේ නැහැ. පළාත් පාලන ආයතන දේශපාලනීකරණය කරලා ඒවාහි ක්‍රියාකාරීත්වය දුර්වල කරන ස්වභාවයක් තමයි අපි පසුගිය කාලය පුරා දැක්කේ. දැන් හෝ ඒක වෙනස් විය යුතුයි. බලයේ සිටින ආණ්ඩු තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් පළාත් පාලන ආයතන පාවිච්චි කළා. මේ ආයතන වර්ධනය කරන්න හිටපු ජනාධිපති චන්ද්‍රිකා 1999දී කමිටුවක් පත් කළා. ඒ මඟින් වැදගත් යෝජනා ගණනාවක් ඉදිරිපත් වුවත් ඒවා ක්‍රියාත්මක කළේ නැහැ. ඒ වගේම පළාත් පාලන අයතන සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් හදන්න 2004 දී මුලපිරුවා. එහිදීත් වැදගත් යෝජනා රැසක් ලැබුණා. ඒවා ක්‍රියාත්මක කළෙත් නැහැ. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පළාත් පාලන ආයතන මෙහෙයවීමේ ක්‍රියාවලියෙන් බලයේ සිටින පක්ෂ ඈත්වන තෙක් මේ ආයතන ගොඩනැඟිය නොහැකියි.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT