වර්ෂ 1932 දෙසැම්බර් මස 6 වැනි දින මීගමුව මුන්නක්කරය නම් වූ ධීවර ග්‍රාමයේ දරුවන් 8 දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනියා ලෙස, එනම් කුරුකුලසූරිය විල්ෆ්‍රඩ් සෙවරිනස් ප්‍රනාන්දු සහ කුරුකුලසූරිය මේරි ලිලී මාග්‍රට් ප්‍රනාන්දු යන මවුපියන්ට දාව පුංචි පුත් කුමරුවකු මෙලොව උපත ලැබීය.
මීගමුව සා.මරියා දේවස්ථාන ඉතිහාසයේ 115 වැනි බිලිඳා ලෙස 1932 වර්ෂයේ දෙසැම්බර් මස 13 වැනි දින පී.සී.ප්‍රනාන්දුපුල්ලේ පියතුමන් සුරතින් ක්‍රිස්තියානි කර ඇත්තේ, පසුව ශ්‍රී ලාංකේය කතෝලික සභාවේ 7 වැනි අගරදගුරුතුමන් බවට පත්වූ නික්ලස් මාකස් ප්‍රනාන්දු නම් වූ ඒ පුත් කුමරුන්වය. උන්වහන්සේගේ ඥාන මවුපියන් වීමට තරම් භාග්‍යය ලැබුවේ කේ. තියෝපිලස් ප්‍රනාන්දු සහ කේ. මරියා හැරියට් බී. ප්‍රනාන්දු යුවළයි.
මුන්නක්කරය දෙමළ ප්‍රාථමික පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ එතුමා 5 වැනි ශ්‍රේණියේදී මීගමුවේ දිස්ත්‍රික් මට්ටමින් විභාගයකට මුහුණ දී එයින් දිස්ත්‍රික් ප්‍රථමයා ද වෙමින් ඉහළින්ම සමත් විය. එය දුටු එම පාසලේ සේවය කළ ඔදීලියා කන්‍යා සොහොයුරිය උන්වහන්සේගෙන් අසා ඇත්තේ ‘පුතා ඔබ හොඳට සමත් වෙලා තියෙනවා, කැමැති නැද්ද සෙමනේරියට යන්න?’ කියාය. සෙමෙනේරිය කුමක්ද යන්නවත්, එම වචනයේ තේරුමවත් නොදන්න පුංචි නික්ලස් මාකස් ආපසු කන්‍යා සොහොයුරියගෙන් අසා ඇත්තේ ‘සෙමනේරිය කියන්නේ මොකක්ද?’ යන්නයි. ඒ අවස්ථාවේ ඇය ප්‍රකාශ කර ඇත්තේ, ‘ස්වාමිලා වෙන්න කැමැති අය පුහුණු කරන, උගන්වන තැනක් …’ වශයෙනි. එවිට උන්වහන්සේ ඔළුව වනමින් සංඥා කර ඇත්තේ ‘මම කැමැතියි…’ යන්නයි.
ඉනික්බිතිව මීසම් භාර පියතුමා වෙත යොමුකළ, පුංචි නික්ලස් මාකස් කොලුගැටයාගෙන් මීසම් පාලක පියතුමා අසා ඇත්තේ ‘වයස කීයද?’ යන්නයි. “වයස 10 යි” කියා පිළිතුරු දුන් පුංචි නික්ලස් මාකස්ට, මීසම් භාර සෙබස්තියන් පියතුමා ප්‍රකාශ කර ඇත්තේ “වයස මදි, තව අවුරුදු 2ක් වත් ඉංග්‍රීසි පාසලකට යා යුතු බවයි. ඒ අනුව උන්වහන්සේ 1942 දී මීගමුව සා. මරියා පිරිමි විදුහලට ඇතුළත් වී ඇත.
ඉන්පසු සා. මරියා දේවස්ථානයේ මීසම් පාලක සෙබස්තියන් පියතුමන්ගේ මඟ පෙන්වීම තුළ 1945 වසරේදී බොරැල්ල දෙව්සත්හලට ඇතුළු වූ මෙතුමෝ දෙව්සත්හල තුළදීම 1953 වර්ෂයේදී ලන්ඩන් BA උපාධිය ලබා ගත්හ. දිගින් දිගටම ඉගෙනීමේ දක්ෂතා ප්‍රදර්ශනය කළ එතුමා වර්ෂ 1954 දී රෝමයේ ‘ප්‍රොපගැන්ඩෆඩ්’ මිෂනාරි සරසවියේ (Collegio de Propaganda Fide in Rome) වසර හයක උසස් අධ්‍යාපනය සඳහා කාදිනල් කුරේ හිමිපාණන් විසින් යොමුකළ අතර එහිදී දර්ශනවාදය (Baccalaureate and Licentiate degrees in Philosophy) සහ දේවධර්මය (Baccalaureate in Theology) පිළිබඳ උපාධි ද්විත්වය උන්වහන්සේ සම්පූර්ණ කරන ලදි.
මේ අතරතුර 1976 සැප්තැම්බර් 2 වැනිදා ශ්‍රී ලංකා කතෝලික සභාවේ අගරදගුරු පදවියට මෙන්ම කාදිනල් පදවියට ද පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා වූ කාදිනල් කුරේ හිමියන් සිය 75 වැනි උපන් දිනයට මාස තුනකට පෙර සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ මන්දයත් රදගුරුවරයකු වයස 75 වනවිට විශ්‍රාම යෑම සම්බන්ධයෙන් සභා සම්මතයක් එවකට තිබූ නිසාවෙනි.
උන්වහන්සේගේ විශ්‍රාම යෑමෙන් අනතුරුව පත්වන අනුප්‍රාප්තිකයා කවුරුන්ද යන්න සියලුදෙනා තුළ කුකුසක් ඇතිවී තිබුණි. මන්ද ඒ වනවිට සහායක රදගුරුවරුන් වශයෙන් එඩ්මන්ඩ් ප්‍රනාන්දු රදගුරුතුමන් ද, ගරු ඔස්වල්ඩ් ගෝමස් රදගුරුතුමන් ද ඊට අමතරව ගරු W.L.A දොන් පීටර් මාහිමියන් සහ ජෝ ද මෙල් මාහිමියන් ද වූ බව සභා ඉතිහාසයේ දැක්වේ. මේ අතරින් කෙනකු අගරදගුරුතුමන් වශයෙන් පත්වෙතැයි බොහෝ දෙනා විශ්වාස කළහ.
රදගුරුවරයකු පත්කිරීමේ වගකීම හා කාර්යපටිපාටිය වතිකානුව මඟින් සිදුකළ ද ඒ සඳහා සුදුස්සා කවුරුන්ද යන්න අදාළ රටේ විශ්‍රාමික කාදිනල්තුමන් හෝ අගරදගුරුතුමන් මෙන්ම රදගුරුතුමන්ලාගේ අදහස් විමසීම වතිකානු සභා සම්ප්‍රදාය වේ. දේව සැලැස්මේ අපූර්වත්වය විදහා දක්වමින් 1976 කාදිනල් කුරේ හිමියන් විශ්‍රාම ගිය පසුව ඒ අඩුව පිරවීම සඳහා ඊළඟ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමේ ක්‍රමවේදය වතිකානුව වෙනස් ආකාරයකට සිදුකරන්නට යොමුවන ලදි.
ඒ අනුව එවකට ලංකාවේ වතිකානු තානාපති හිමියන්වූ කාලෝ කුරිස් අගරදගුරුතුමන්ගේ අත්සනින් නිකුත් කළ ලිපියකින් එකල කොළඹ පදවියේ සේවය කළ පියතුමන්ලාගෙන් ද, කන්‍යාරාමවල නායක කන්‍යා සොයුරියන්ගෙන් ද, ගිහි සභා නායක නායිකාවන්ගෙන් ද ඉල්ලා තිබෙන්නේ අගරදගුරු වශයෙන් පත්වීමට සුදුස්සන් තිදෙනකුගේ නම් සඳහන් කර එවන ලෙසය. ඒ අතරම කාලෝ කුරිස් අගරදගුරුවරයා විශ්‍රාමලත් කාදිනල් කුරේ හිමියන්ගෙන් ද, සහායක රදගුරුවරුන්ගෙන් ද, වෙන වෙනම නිර්දේශ ලබාගෙන ඇති බව සභා ඉතිහාසයේ සඳහන් වේ.
නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව හා කාදිනල් තෝමස් කුරේ විශ්‍රාම ගොස් හය මාසයකට පසුව නව අගරදගුරුවරයෙක් පත්කිරීමේ තීරණය වතිකානුව විසින් ප්‍රකාශයට පත්කරන ලදි. ඒ කෙසේ වෙතත් වතිකානුවේ තීරණය දැනුම්දීමට පෙර, එසේ තෝරාගත් තැනැත්තාගෙන් වතිකානුවේ තේරීම අනුව මෙම නව වගකීම භාර ගැනීමට කැමැත්තේදැයි විමසනු ලැබේ. එය වතිකානු සභා සම්ප්‍රදාය වේ. කොළඹ පදවියේ අගරදගුරුතුමන් වශයෙන් ධුරය භාර ගන්නේදැයි කැමැත්ත විමසා ඇත්තේ එවකට රදගුරුවරයෙකුවත් නොවූ සාමාන්‍ය පියතුමෙකුගෙනි.
කොළඹ අගරදගුරුතුමන් ලෙස පත්වීමට කැමැතිදැයි 1977 මාර්තු 21 වැනි දින වතිකානුව කාදිනල් තෝමස් කුරේ හරහා ඔහුගෙන් විමසන විටද ඔහු සිට ඇත්තේ අම්පිටිය ජාතික දෙව්සත්හලේ පැවැත්වීමට නියමිතව තිබූ මාර්තු 25 වැනි දිනට යෙදෙන දේවමාතාවන්ට ගාබ්‍රියෙල් දේවදූතයා මංගලම් කීමේ මංගල්‍යයට සූදානම්වීමේ කටයුත්තකදී බවත් සඳහන්ය. කාදිනල් කුරේ හිමිපාණන් විසින් එම පියතුමන්ව කැඳවා වතිකානුවේ විමසීම පිළිබඳව අසා ඇත්තේ “පාප්වහන්සේගේ ඉල්ලීමක් ගැන කියන්නයි, ඔබ වහන්සේව කැඳෙව්වේ, පාප්වහන්සේ කැමැතියි ඔබතුමාව කොළඹ අගරදගුරු පදවියේ අගරදගුරුතුමන් බවට පත්කරන්න. එය අසා එතුමන් විස්මයටත්, තිගැස්මටත් පත්වූයේ, උන්වහන්සේ තුළ කිසිදිනෙක එවැනි බලාපොරොත්තුවක් නොතිබූ නිසාවෙනි. අවසන එකී වතිකානුවේ විමසීමට පිළිතුරු දෙමින් පියතුමන් පවසා ඇත්තේ ‘ඔබ කී ලෙස මට සිදුවේවා!’යන්නය.
උන්වහන්සේ ප්‍රථමයෙන්ම අගරදගුරුතුමකු වී පසුව රදගුරුතුමෙක් හෙවත් බිෂොප්වරයකු වීම ඉතාමත් සුවිශේෂීය. රදගුරුවරයකු ලෙස පත්වීමට පෙර කොළඹ අගරදගුරුතුමන් ලෙස උසස් කරන ලද නික්ලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන් 1977 වර්ෂයේ මැයි 02 වැනි දින කාදිනල් තෝමස් කුරේ හිමිපාණන් අතින් රාජගුරු අභිෂේකයට ඔසවන ලදි. සිංහලෙන් පැවති ප්‍රථම රාජගුරු අභිෂේකය ද එයය.
තවත් සුවිශේෂී කරුණක් වන්නේ මින්පෙර සිටි සියලු අගරදගුරුතුමන්ලා O.M.I. නිකායට අයත් පූජා ප්‍රසාදීවරුන්වුවද ගරු නික්ලස් මාකස් හිමිපාණන් කිසිදු නිකායකට අයත් නොවූ කොළඹ පදවියේ පූජක පුතකු වීමයි. එමෙන්ම ලාංකේය කතෝලික සභා ඉතිහාසය තුළ මෙතක් අගරදගුරුතුමන් ලෙස පත්වීම ලැබූ ළාබාලම තැනැත්තා වන්නේ ද අතිගරු නික්ලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන්ය.
ස්වර්ගස්ථ විශ්‍රාමික අගරදගුරු නික්ලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණනි, අප වෙනුවෙන් අප දේශය වෙනුවෙන් හා ඔබගේ දරුවන් වෙනුවෙන් දෙවිඳුන් ඉදිරියේ මැදිහත් වෙනු මැනවි.
ඔබ වහන්සේට නිත්‍ය සැතපීම ලැබේවා !
සුමුදු ලක්මාල් ප්‍රනාන්දු