රාත්‍රී අහසත් මහ මුහුදත් අතරමැදින් ඈත ගමනක් යන්නට අපි යාපනය අර්ධද්වීපයේ කන්කසන්තුරේ වරායෙන් ‘හංසයා’ නෞකාවට ගොඩවූයේ ශ්‍රී ලංකා නාවුක හමුදාවේ උණුසුම් පිළිගැනීමත් සමඟය. ඒ, මුහුදු සැතපුම් 45ක් එනම්, කිලෝමීටර්වලින් නම් 100කට අධික ගමනක් පැය පහක් වැනි කාලයකදී ගෙවා දමමින් ශ්‍රී ලංකාවට ඈතින් පිහිටි කච්චතිව් දූපත වෙත යෑමටය.
ඈතින් දිස්වූයේ කච්චතිව් දූපතයි. ඒ මනස්කාන්ත දර්ශනය විඳිමින් සිටි අපට පෙනුණේ මුහුදේ තැනින් තැන නැංගුරම් ලා තිබූ බෝට්ටු සහ ධීවර යාත්රාය. මෙරට ධීවර ප්‍රජාවගේ මෙන්ම ඉන්දීය ධීවරයන්ගේ යාත්‍රා එලෙස නවතා තිබෙන බව නාවුක හමුදාව අපට පහදා දුන්නේය. ඒ වන විටත් ගිණිය නොහැකි යාත්‍රා විශාල ප්‍රමාණයක් මුහුද අරක්ගෙන තිබිණි. අප ඒ බිමට සේන්දු වෙද්දී හිරු නැඟී රශ්මිය විහිදමින් සිටියේය. ‘ශ්‍රී ලාංකිකයින්’ සහ ‘ඉන්දීය ජාතිකයින්’ වශයෙන් වෙන් වෙන්ව පුවරු දෙකක් අපගේ නෙත ගැටිණි. ඒ වන විටත් ඉන්දීය ජාතිකයෝ ඔවුන්ට හිමි සීමාවෙන් දූපතට ඇතුළු වීම සඳහා ලියාපදංචි වෙමින් සිටියහ. වීසා නැතුව ශ්‍රී ලංකා භූමියට ඇතුළු වන එකම දිනය මේ දිනය බව ඔවුහු අපට පැවසුවේ සතුටිනි. කච්චතිව් දූපත මෙරටට අයත් දූපත් සමූහයට අයත් එක් දූපතක් වන අතර, ශ්‍රී ලංකාවට වඩාත් දුරින් ම පිහිටි දූපත වන්නේ ද කච්චතිව් දූපත යි.
ඉන්දීය ධීවර ප්‍රජාව මෙන්ම ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාව ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ මේ මහා මංගල්‍යයට සහභාගි වී සිටියේ ඔවුන්ගේ සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීම සඳහා බාර හාර පුද පූජා පැවැත්වීමේ ගෞරවාදර භක්තියෙනි.
දූපතට ගොඩබසින සෑම අවස්ථාවකම ශාන්ත අන්තෝනි මුනිතුමන්ගේ ප්‍රතිමාවට යාච්ඤාකොට ඔවුන්ගේ ධීවර කටයුතු සාර්ථක කරදෙන මෙන් පිහිට අයැදීම සිරිතක් කොටගෙන ඇති බව එහි පැමිණ සිටි පිරිස් අපට පැවසූහ. ඔවුන්ගේ අයැදීම ඒ ආකාරයටම ඉටුවූ බැවින් වර්ෂ 1906 දී ධීවරයන් විසින් මෙම ප්‍රතිමාව ආරක්ෂා කරමින් කුඩා පල්ලියක් ඉදිකර තිබූ බවට ඉතිහාසය ගැන තතු දත්තෝ අපට කීහ. ශ්‍රී ලාංකික ධීවරයන් පමණක් නොව, දකුණු ඉන්දියානු ධීවරයන්ගේද සාන්තුවරයා ලෙස මෙම දේවස්ථානය ශාන්ත අන්තෝනි මුනිතුමා නමින් කැප කර ඇති බව ඔවුහු පැවසූහ.
මෙවර දෙස් විදෙස් බැතිමතුන් නවදහසකට අධික ප්‍රමාණයක් කච්චතිව් දූපතේ එක්රොක් වී සිටිනු පෙනිණි.
යාපනය අර්ධද්වීපයේ කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය ඉන්දියාවේ සිවගංගෙයි රදගුරු පදවියේ ලුර්දු ආනන්දන් පියතුමා, යාපනය රදගුරු පදවියේ පී.ජේ. ජෙබරත්නම් පියතුමා, කොළඹ අගරදගුරු පදවියේ සිස්වාන් ද කෲස් පියතුමා,
ඉන්දියාවේ රාමේශ්වරම් පැරිෂ් පූජක අශෝක් පියතුමා සහ ඩෙල්ෆ්ට් පැරිෂ් පූජක පී. පතිනාදන් පියතුමා යන පූජකවරුන්ගේ මෙහෙයවීමෙන්, යාපනය රදගුරු අතිඋතුම් ජස්ටින් ඥානප්‍රකාසම් පියතුමාගේ සහ යාපනය දිස්ත්‍රික් ලේකම් මරුදලිංගම් පිරතීපන් මහතාගේ සංවිධායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ දායකත්වයෙන් පැවැත්විණි.
ඉකුත්දා මෙම දේව මංගල්‍යයේ අවසන් පූජාව සිදු කෙරුණේ ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් හා රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්, සම්භාවනීය අමුත්තන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙනි.
ඉන්දීය සහ ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාව ඇතුළු කිතුනු මෙන්ම බොදු බැතිමතුන් ද මහත් ගෞරව බහුමානයෙන් පුද පූජා පවත්වනු ලබන මෙම ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සාර්ථකව
පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම නාවික හමුදා නිලධාරින්ගේ සුවිශේෂ දායකත්වයෙන් සිදු කෙරිණි.
නාවික හමුදාවේ උතුරු නාවික විධානයේ ආඥාපතිගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සියලු පහසුකම් සම්පාදනය කිරීමට කටයුතු කර තිබෙනු එහි ගිය අපට දැකගත හැකිවිණි.
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සම්බන්ධීකරණය වී බැතිමතුන් හට අවශ්‍ය පානීය ජලය, ආහාර, සනීපාරක්ෂක පහසුකම්, තාවකාලික කුටි, තාවකාලික මංමාවත් හා ජැටි සකස් කිරීම මෙන්ම විදුලි බල පහසුකම් ස්ථාපනය, බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීම මෙන්ම වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලයකින් සමන්විත වෛද්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමද නාවික හමුදාව විසින්ම සිදු කර තිබුණේ නාවික හමුදාවේ සංවිධාන ශක්තියෙනි.
දේව මෙහෙය සඳහා සහභාගි වී සිටි දෙස් විදෙස් පූජ්‍ය පක්ෂය එක්රැස්වී සිටි පිරිසට දේශනා පවත්වමින් දේව ආශීර්වාදය පැතූහ. ශාන්ත අන්තෝනි පියතුමන්ගේ ආශීර්වාදය ලබාගැනීමට පැමිණි පිරිස් යාතිකා ගයමින් දේව මෙයට සහභාගි වී සිටියහ.
නිමන්ති රණසිංහ