ඉදුණු “සියඹලා” කිලෝවක මිල ඉකුත් කාලයේ රුපියල් දෙදහසක් දක්වා ඉහළ ගොස් තිබිණි. එහෙත් රූස්ස ගස් මුදුන් වෙත ගොඩවී සියඹලා නෙළා අලෙවි කරන්නවුන්ට ඒ සඳහා ලැබෙන්නේ රුපියල් දෙසීයක් වැනි මුදලක් පමණක් බව ඔවුහු කියති. මේ වනවිට අනුරාධපුරයේ වනමායිම් ගම්මාන ආශ්‍රිතව ඇති දැවන්ත සියඹලා ගස් තුළ හටගත් සියඹලා පැසී, ඉදී දැන් එහි අවසන් අදියරට පැමිණ ඇත. මහවැලි එච් කලාපයේ ගල්නෑව, තඹුත්තේගම, තලාව, බුල්නෑව, මීගලෑව, එප්පාවල ආදී ප්‍රදේශවල ගම්මැදි සහ ප්‍රධාන මාර්ග දෙපස ඇති රූස්ස සියඹලා ගස් තුළ හටගත් සියඹලා ඵලදාව ද මේ වන විට පැසී ඉදී තිබේ. වසන්තය උදාවෙත්ම සියඹලා ගස් ද මලින්, ඵලදාවෙන් පිරී යයි.
මෙම සියඹලා අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයක් ගස් යට ඉදී වැටී අපතේ යයි. සිහින් අතුපතර නැගී සියඹලා නෙළීම ඉතා දුෂ්කර කාර්යයකි. මොහොතක පමාවෙන් ඇති විය හැකි ජීවිත අවදානම සුළුවෙන් තැකිය හැකි නොවේ. එය තවත් කඳුළු කතාවකි. එසේ අසීරුවෙන් නෙළාගනු ලබන ඵලදාවට නිසි මිලක් නොලැබීම පිළිබඳව තඹුත්තේගම, තේක්කවත්තේ දිවි ගෙවන ඩබ්ලිව්. විජේරත්න මෙසේ පැවසුවේය. ඔහු කලක් තිස්සේ වාරෙට සියඹලා නෙළා අලෙවි කොට මුදලක් උපයා ගැනීමට වෙහෙසෙන තැනැත්තෙකි.
“සියඹලා ගහ මහ විශාලෙට හැදුනට කරල් හැදෙන්නේ පොඩි අතු අග්ගිස්සේ. ඉතිං කඩාගන්න එක ලේසි නෑ. අපි කිහිපදෙනෙක් තමයි ගස් නැඟලා අතු හොල්ලලා සියඹලා කඩලා විකුණන්නේ. සියඹලා ගස්වලට නඟින්ඩ ලේසි නෑ. මොකද හැම අතේම පොඩි පොඩි අතු. මේ රූස්ස ගස්වලින් බිමට වැටුණොත් අතක්, පයක් කැඩිලා තමයි නතර වෙන්නේ. ජීවිතේ වුණත් නැතිවෙන්ඩ බැරිකමක් නෑ. පුදුම දුකක් විඳලා තමයි සියඹලා ටිකක් කඩාගන්නේ. එහෙම කඩාගන්න සියඹලා කිලෝ එකක් අපෙන් ගන්නේ රුපියල් එකසිය පනහකට නැත්නම් දෙසීයකට. අද තියෙන වියදම් එක්ක බලපුවහම ඇති දෙයක් නෑ. ඒත් මොනවා හරි කරලා අපිත් දරුවෝ ජීවත් කරවන්ඩ ඕනනේ.”
චට්නි වර්ග, ජෑම් වර්ග, විවිධ පාන වර්ග සියඹලා මඟින් වත්මනෙහි නිෂ්පාදනය කරනු ලබයි. එමෙන්ම රූපලාවණ්‍ය කටයුතු සඳහා ද මෙම ඵලදාව භාවිත කෙරෙන බව සඳහන්වේ. හෙළ වෙදකමේ ඉතා වටිනා ඔසුවක් ලෙස ද සියඹලා භාවිතයට ගැනෙයි. අතීතයේ පටන් ගැමි ළදුන් වෑංජන රස කරන රසකාරකයක් ලෙස ද සියඹලා භාවිතයට ගෙන තිබේ. විශේෂයෙන් හින්දු ජනතාව විසින් පිළියෙල කරනු ලබන මිරිස් හොද්දට සහ තෛපොංගල් දින උත්සවයට සියඹලා අත්‍යවශ්‍ය ආහාරයක් ලෙස භාවිතයට ගැනෙන බව සඳහන් වේ. ගැමි දරු, දැරියන් අතර පලතුරක් ලෙස ද සියඹලා ජනප්‍රියව පවති. මේ අනුව තවමත් මෙරට ග්‍රාමීය මෙන්ම සමහර නාගරික ප්‍රදේශ ආශ්‍රිතව සියඹලා සඳහා ඇත්තේ හොඳ ඉල්ලුමකි.
එපමණකින් නොනැවතී අපනයනය කිරීම දක්වා එහි වටිනාකම ඉහළ නැඟ ඇත. අතීතයේ ගම්මැදි ජනයාගේ දෛනික ආහාර සංස්කෘතිය හා නිතැතින් බැඳී පැවැත ඇති සියඹලා අස්වැන්නට යම් වාණිජමය වටිනාකමක් එක්ව තිබේ. එවැනි අනුහසකින් යුතු සියඹලා ඵලදාවෙන් තුරුමුදුන් මත නැඟී දිවි ගෙනයන දමුදු අරවින්ද මෙසේ කරුණු කීවේය.
“මාර්තු මාසේ පටන් ගත්තහම ජූලි මාසේ විතර වෙනකන් සියඹලා ඵලදරනවා. ඔය මාස කිහිපයේ තමයි අපිත් කීයක් හරි හොයාගන්නේ. අපි කඩාගන්න කරල් පිටින්ම තමයි විකුණන්නේ. පසුගිය කාලේ සියඹලා කිලෝ එකක් රුපියල් දෙදාහකට කිට්ටු වෙන්ඩ මිල ගියා. ඒත් අපෙන් ගන්නේ පොඩි ගාණකට. ගොඩක් අය ලොකු ආදායමක් නැති හින්දා සියඹලා කඩන එක අතෑරලා දාලා තියෙන්නේ. ඒකෙන් වෙලා තියෙන්නේ ඵලදාව සෑහෙන්ඩ අහක යන එක. ඒක ලොකු අපරාධයක්. හරියට සියඹලා ගන්න වැඩපිළිවෙළකුත් නෑ. එක්කෙනෙක් දෙන්නෙක් තමයි සියඹලා ගන්ඩ ඉන්නේ.”
ඉදුණු සියඹලා මිහිරි හා ඇඹුල් රස මිශ්‍රය. ආයුර්වේදයට අනුව සියඹලා ආහාර රුචිය වඩවයි. පිපාසය සමනය කරයි. විරේක ගුණයෙන් යුක්තය. මළබද්ධය දුරු කරවයි. අඹරාගත් සියඹලා කොළ තැළුම්, ඉදිමුම්වලට ගෑමට යොදා ගනියි. ඉදුණු සියඹලා මද හදවතට ගුණදායකය. ගැමියෝ සියඹලා දලු හා මල් ව්‍යංජනයක් ලෙස ද ආහාරයට ගනිති. නුවර කලාවියේ ප්‍රකට ජනශ්‍රැති පර්යේෂකයකු වන තලාව, කරගහවැවේ “චන්ද්‍රකුමාර ජයසුන්දර” මහතා, අතීත ගැමියෝ සියඹලා ඵලදාව මඟින් ලද ප්‍රයෝජන පිළිබඳව පැවසුවේ මෙවැනි කරුණු පෙළකි.
“ඒ කාලේ ගම්වල අයට සියඹලා කප්රුකක් වගේ පිහිට වෙච්ච ගහක්. මිනිසුන්ගේ සරල ජීවිතේට සියඹලාවලින් ලොකු උදව්වක් ලැබිලා තියෙනවා. කරල කඩලා අරගෙන පොතු අයින් කරලා අව්වේ වේළලා එහෙම නැත්නම් හුමාලෙන් තම්බලා මුට්ටියකට දාලා හුළං වදින්නේ නැතිවෙන්ඩ ඝණකම් රෙද්දකින් බැඳලා තියාගත්තහම අවුරුද්දක් දෙකක් නරක් නොවී තියාගන්ඩ පුළුවන්. සියඹලා දාලා හදන කිරිහොද්ද ඒ කාලේ ගමේ ගෙවල්වල හරි ජනප්‍රිය කෑමක්. වැව් මාළු හොද්දටත් සියඹලා දැම්මා. වෑංජනවලට දෙහි, ගොරකා වගේ දේවල් වෙනුවට ගම්මු පාව්චිචි කෙරුවේ සියඹලා. මූත්‍රා අමාරුවට සියඹලා දිය කරලා බොන එක ඒ කාලේ හොඳ අත් බෙහෙතක්. ආහාර දිරවන්ඩ කියාපු බේත. සියඹලා වාරේට අමු කරල්, ලුණු, කොච්චි නැත්නම් අමු මිරිස් දාලා කොටලා කන එක ඒ කාලේ ගං ගෙවල්වල ළමයින්නේ විනෝදාංශයක්. වාජීකරණ ඖෂධ හදන්ඩත් සියඹලා පාවිච්චි කෙරුවා.”
ගැමියෝ නෙළන සියඹලා අස්වැන්න නුවර කලාවියට බැහැරින් එන අයකුට කීයක් හෝ වැඩි මුදලකට විකුණා ගැනීමට දරන වෑයම ද මෙකල මෙහි මහ මග දුලභ නොවේ. අතීත ස්වයංපෝෂිත ගැමි ජීවන සංස්කෘතියට ඉවහල් වී ඇති සියඹලා වැනි වටිනා ශාකයක් මඟින් නිසි ප්‍රයෝජන ලැබීමට වත්මනෙහි හැකිව නැති බව දැන් ඉඳුරාම පැහැදිලිය. එවැනි ශාකයක ඇති ඵලදායක බව පිළිබඳව ඇති දැනුම ද වර්තමානයෙහි අල්ප වී තිබේ. ඒ සඳහා ලැබෙන වාණිජමය වටිනාකම ද නිරවුල් නැති බව දැන් පැහැදිලිය. එහෙයින්ම වසරේ නිශ්චිත කාලයකට ලැබෙන සියඹලා ඵලදාවෙන් වැඩි ප්‍රමාණයක් කාටත් රහසේ අපතේ යන බව සැඟවිය නොහැකි සත්‍යයකි.
ඩබ්ලිව්. ප්‍රදීප්
තඹුත්තේගම