Home » යුක්රේනයෙන් මොස්කව් නුවරට ඩ්‍රෝන වැස්සක්

යුක්රේනයෙන් මොස්කව් නුවරට ඩ්‍රෝන වැස්සක්

-ප්‍රධාන ගුවන්තොටුපොළත් වසා දමයි

by sachintha
May 7, 2025 1:00 am 0 comment

යුක්රේන හමුදාවෙන් රුසියාවේ මොස්කව් නුවරට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් අගනුවර ප්‍රධාන ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දමා ඇතැයි එරට ටාස් පුවත් සේවය වාර්තා කළේය. යුක්රේනයෙන් එල්ල වූ ඩ්‍රෝන 105ක් රුසියානු ගුවන් ආරක්ෂණ පද්ධතිය මඟින් විනාශ කිරීමට සමත්වූ බවත්, මොස්කව් නුවර ඉලක්ක කරගත් ඩ්‍රෝන 19ක් ද ඊට ඇතුළත් වූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව ටාස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයෙන් ජීවිත හානි හෝ වෙනත් බරපතළ හානි සිදුනොවූවද, ගොඩනැඟිලි කිහිපයක් විනාශ වූ බව ටාස් පුවත් සේවය සඳහන් කළේය.
යුක්රේන හමුදාවෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූයේ අඛණ්ඩව දෙවැනි දිනයට බව වාර්තා වේ. පෙර දිනයේදී එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර 26ක් ගුවනේදීම විනාශ කිරීමට රුසියානු ගුවන් ආරක්ෂණ පද්ධතිය සමත්වී ඇති අතර, තහවුරු නොකළ වාර්තාවලට අනුව ඩ්‍රෝන ප්‍රහාරවලින් මොස්කව් නුවර දකුණු ප්‍රදේශයේ ගොඩනැඟිලි රැසකට හානි සිදුවී තිබේ. මීට වසර තුනකට පෙර දෙරට අතර යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු මොස්කව් නුවර ඉලක්ක කරමින් යුක්රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් එල්ල වූ අතර, පසුගිය මාර්තුවේ එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ද වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT