සීදූව ලියනගේමුල්ලේ පිහිටි ව්‍යාපාරික පවුලක් පදිංචිව සිටි නිවෙසකට කඩාවැදී ටී 56 අවිවලින් වෙඩි තබා පිය පුතු දෙපළක් ඝාතනය කර, තවත් පුතකුට බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව හඳුනාගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි.
මොහොමඩ් අස්මන් ශෙරිෆ්ඩීන් නමැති හෝමාගම, කටුවාන පාරේ සහ රද්දොළුගම සෙන්ට්‍රල් ගාර්ඩ්න් ලිපිනයන්හි පදිංචිව සිට ඇති මේ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටින බව පොලීසිය පවසයි.
මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් මේ වෙඩි තැබීම සිදු කරන්නේ පසුගිය වසරේ දෙසැම්බර් 28 වැනිදාය. වෙඩි ප්‍රහාර හමුවේ බස් ව්‍යාපාරිකයෙක් වූ එන්. ටී. එස්. ප්‍රසන්න (54) මහතා එම ස්ථානයේදීම මිය ගියේය. ඔහුගේ පියා වන ව්‍යාපාරික කොයෙල් ප්‍රනාන්දු (74) සහ බාල සහෝදරයා වන ජපානයෙන් වාහන අමතර කොටස් ගෙන්වා බෙදාහැරීමේ ව්‍යාපාරයක නිරත වසන්ත ප්‍රනාන්දු (45) යන අය තුවාල ලැබීය. මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔවුන් දෙදෙනා අතරින් පියා ද පසුගිය ජනවාරි මස 06 වැනිදා මිය ගියේය.
මේ ඝාතනයන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව නැත. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ මේ වන විට හඳුනාගෙන සිටින සැකකරු අත්අඩංගුවට ගැනීමට සීදූව පොලීසිය මහජන සහාය පතන බවයි. මේ ඡායාරූපයේ සිටින සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් සීදූව පොලිස් ස්ථානාධිපතිවරයාගේ 071 – 8591637 ජංගම දුරකතන අංකයට හෝ සීදූව පොලිස් ස්ථානයේ 011 – 2253522 දුරකතන අංකයට තොරතුරු දෙන ලෙස ඉල්ලා සිටියි.
ගයාන් කුමාර වීරසිංහ