Home » යුද සමයේදී හමුදාවෙන් ඇල්ලූ කොටින්ගේ රන් බඩු තොගය පිළිබඳ CID විමර්ශනයක්

යුද සමයේදී හමුදාවෙන් ඇල්ලූ කොටින්ගේ රන් බඩු තොගය පිළිබඳ CID විමර්ශනයක්

by sachintha
May 7, 2025 1:26 am 0 comment

උතුරු නැඟෙනහිර මානුෂීය මෙහෙයුම අතරතුරදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් එම ප්‍රදේශවල තිබී සොයාගන්නා ලද රන් භාණ්ඩ ආයිත්තම් දස දහසක ප්‍රමාණයක් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවේ පෙරේදා (05) කරුණු දැක්වීය.

එම කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නීති විරෝධී ත්‍රස්ත සංවිධානයක් වන එල්ටීටීඊ කඳවුරු, නීති විරෝධී බැංකු ඇතුළු ගොඩනැඟිලිවලින් සොයාගන්නා ලද මේ වන විට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය භාරයේ තිබෙන මේ රන් භාණ්ඩ ආයිත්තම් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යොමු කර පරීක්ෂා කර වාර්තාවක් කැඳවන ලෙස නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් මේ නියෝග නිකුත් කරනු ලැබීය.

යුද හමුදා මූලස්ථානයේ ලේඛනාගාර සහ පර්යේෂණ අංශයේ තිබෙන මේ රන් භාණ්ඩ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීම සඳහා කටයුතු කරන අවස්ථාවේදී එම භාණ්ඩ ඡායාරූප සහ වීඩියෝගත කිරීමට අවශ්‍ය උපකරණ රැගෙන යෑමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවසරය දෙන ලෙස යුද හමුදාපතිට නියෝගයක් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂ වෙත ඊට අදාළ උපකරණ දීමට අවශ්‍ය නිලධාරීන් ලබා දෙන ලෙසට ද නියෝග දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉල්ලා සිටියාය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සිද්ධියට අදාළ වැඩිදුරටත් කරුණු මහේස්ත්‍රාත්වරිය හමුවේ පැවැසුවාය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බුද්ධි සේප්පුවල ගබඩා කර ඇති මේ ආයිත්තම් තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීමට නියෝගයක් ගැනීම සඳහා මේ කරුණු ඉදිරිපත් කරන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැන්වූවාය.

එම රන් භාණ්ඩවල වටිනාකම, බර ප්‍රමාණය ඇතුළු රන් භාණ්ඩවල සංයුතිය ජාතික ස්වර්ණාභරණ අධිකාරියෙන් විශ්ලේෂණය කර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් දෙන ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

යුද හමුදා භාරයේ තිබෙන එම භාණ්ඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගැනීමේදී මුද්‍රා තබා ගැනීමට මෙන්ම එම භාණ්ඩ ජාතික ස්වර්ණාභරණ අධිකාරිය භාරයට පත් කිරීමේදී මුද්‍රා තබා දීමට අවශ්‍ය පියවර ගැනීමට නියෝගයක් දෙන ලෙස ද සොලිසිටර් ජනරාල්වරිය විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදි.

එම රන් ආයිත්තම් දස දහසක් පමණ තිබෙන බැවින් එම භාණ්ඩ එක්වරට 300 බැගින් අදියර කිහිපයක් යටතේ කොටස් වශයෙන් භාර දීමට නියෝගයක් දෙන ලෙසට ද, එසේ ජාතික ස්වර්ණාභරණ අධිකාරියට භාර දෙන එම භාණ්ඩ විවෘත කර විශ්ලේෂණය කිරීමට එම අධිකාරියට අවසර දෙන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

එසේ භාර දීමෙන් අනතුරුව එම භාණ්ඩ භාරගත් බවට සඳහන් පිටපත් දෙකක් ස්වර්ණාභරණ අධිකාරියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට දෙන ලෙසට නියෝගයක් දෙන ලෙස ද සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

එම විශ්ලේෂණ කටයුතුවලින් අනතුරුව එම භාණ්ඩ නිසි පරිදි මුද්‍රා තැබීමට එම අධිකාරියේ නිලධාරියකු නම් කිරීමට ද නියෝගයක් දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලීය.

ස්වර්ණාභරණ අධිකාරියෙන් විශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලියේදී එම භාණ්ඩවල දළ බර කිරා මැන ගැනීමට අවශ්‍ය ප්‍රමාණවත් කිරුම් මිනුම් උපකරණ ස්වර්ණාභරණ අධිකාරිය සතුව නොමැති බැවින් එම භාණ්ඩ ද සමඟ ලංකා බැංකුවේ උකස් අංශයේ නිලධාරීන් දෙදෙනකු පත් කිරීමට ක්‍රියා කරන ලෙසට ලංකා බැංකුවේ සාමාන්‍ය අධිකාරි වෙත නියෝගයක් නිකුත් කරන ලෙසට ද අදාළ විශ්ලේෂණ කටයුතුවලින් අනතුරුව එම රන් භාණ්ඩ සියල්ල මහ බැංකුවට දීමට ස්වර්ණාභරණ අධිකාරියට නියෝගයක් දෙන ලෙසට ද සොලිසිටර් ජනරාල්වරිය විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කළාය.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්තුමිය එම රන් භාණ්ඩ තබාගැනීමට මහ බැංකුවේ ඉඩකඩ තිබෙන බවට අවශ්‍ය දැනුම්වත් කිරීම් කර තිබේ ද යන්න පැවැසීය.

එම අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටි සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කරනු ලැබුවේ,

“ස්වාමීනි, මේ සිද්ධියට අදාළව රන් භාණ්ඩ තැන්පත් කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව දැනුම්වත් කර තිබෙනවා. ස්වර්ණාභරණ අධිකාරියට ඉදිරිපත් කරන මේ රන් භාණ්ඩ විශ්ලේෂණයෙන් පසු නැවත මුද්‍රා තබා පාරිශුද්ධභාවය තහවුරු කර ගැනීමට ජාතික ස්වර්ණාභරණ අධිකාරියේ සිට මහ බැංකුවට යොමු කිරීමට බලය ලත් නිලධාරියකු පත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ නියෝගයක් දෙන ලෙස ද මම ඉල්ලනවා.” යනුවෙනි.

ස්වර්ණාභරණ අධිකාරියෙන් මහ බැංකුවට භාර දෙන එම රන් භාණ්ඩ විවෘත කර නැවත මුද්‍රා තැබීමට මහ බැංකු නිලධාරීන් කිහිප දෙනකුගේ පූර්ණ සහාය ගැනීමට නියෝගයක් දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීය.

සිද්ධියට අදාළ මේ රන් භාණ්ඩ තොගය ද්‍රවිඩ, ඉස්ලාම් කොට්ඨාසය යටතට සම්බන්ධ ද උතුරු නැඟෙනහිර වෙනත් සංවිධානයක් යටතේ පැවතිය ද යන්න පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වන බවට ද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වීය.

ඒ අනුව සිද්ධියට අදාළ ඉල්ලීම්වලට නියෝග දෙමින් වහාම විමර්ශනයක් පවත්වන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

කල්පනි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT