Home » දමන වෙඩි බෙහෙත් ගබඩාවට සුද්දෙ දුන් 4ක් අත්අඩංගුවට

දමන වෙඩි බෙහෙත් ගබඩාවට සුද්දෙ දුන් 4ක් අත්අඩංගුවට

-පුපුරන ද්‍රව්‍යත් සොයා ගනී

by sachintha
May 7, 2025 1:31 am 0 comment

අම්පාර දමන පොලිස් බලප්‍රදේශයේ අලහේන ගම්මානයේ පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා එහි තිබූ වෙඩි බෙහෙත් සොරා ගැනීමේ සිද්ධියට අදාළ සැකකරුවන් සිවුදෙනකු අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ගෙන් කෙරුණු ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත ඔවුන් සොරාගත් සියලුම වර්ගයේ පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට පොලීසිය සමත් වී ඇත.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර වෝටර් ජෙල් කිලෝ 45ක්, ඩෙට‍නේටර් 4100ක් සහ සේවා නූල් මීටර 10 කැලි 25ක් සොයා ගනු ලැබීය. මෙම වෙඩි බෙහෙත් ගබඩාව අසල පොලිස් මුරපොළක් ද ඇති අතර එහි සේවය සඳහා පොලිස් නිලධාරීන් ද යොදවා තිබියදී මෙම සොරකම සිදු වූ ආකාරය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් කිරීමට කටයුතු කරන බව අම්පාර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අත්අඩංගුවට ගත් වෙඩි බෙහෙත් සහ සැකකරුවන් සිවුදෙනා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24, 32, 39, 56 යන වයස්වල පසුවන හිඟුරාන හා දමන අලහේනේ පදිංචිකරුවන්ය. මෙම ගබඩාව බිඳ පුපුරන ද්‍රව්‍ය සොරාගෙන ඇත්තේ පසුගිය අප්‍රේල් මස 29 වැනිදා සවස 1.00ත් පසුගිය 04 වැනිදා සවස 5.00ත් අතර කාලයේදී බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

ගල් වැඩපොළේ හිමිකරු වන ව්‍යාපාරිකයා පසුගිය 29 වැනිදා සවස එහි පැමිණ පුපුරන ද්‍රව්‍ය ලබාගෙන එහි අගුල් දැමීමෙන් පසු නැවත පෙරේදා (04) පුපුරන ද්‍රව්‍ය ගැනීමට ගබඩාව විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී එය සොරුන් විසින් බිඳ ඇතැයි අනාවරණය වූ බව සඳහන් වන බව පොලීසිය පවසයි.

පුපුරන ද්‍රව්‍ය ගබඩා කර තිබූ ස්ථානයේ කාමර තුනක් කඩා මෙම පුපුරන ද්‍රව්‍ය සොරාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

රාජ්‍ය බුද්ධි සේවයේ නැඟෙනහිර සහකාර පොලිස් අධිකාරි හේරත් මහතාට ලද තොරතුරක් ඔස්සේ මෙම පුපුරන ද්‍රව්‍ය සොයාගෙන ඇති බව සඳහන්ය. නැඟෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙසින් අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සනත් අමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ අම්පාර කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සනත් බණ්ඩාර මහතාගේ මෙහයවීමෙන් දමන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් අලගියවන්න, අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රෙස්න සතරසිංහ යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

දිගාමඬුල්ල විශේෂ – වසන්ත චන්ද්‍රපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT