Home » මාලිමාවේ පොලොන්නරුව නගර සභා අපේක්ෂකගේ යතුරුපැදියට ගිනි තැබූ සැකකරු රිමාන්ඩ්

මාලිමාවේ පොලොන්නරුව නගර සභා අපේක්ෂකගේ යතුරුපැදියට ගිනි තැබූ සැකකරු රිමාන්ඩ්

by sachintha
May 7, 2025 1:33 am 0 comment

මෙවර පළාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් පොලොන්නරුව මහ නගර සභාවට තරග කරන අපේක්ෂකයකු මෙන්ම උතුරුමැද පළාත් ආණ්ඩුකාර පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන තිස්ස කුමාර මහතාගේ නිවසේ යතුරුපැදියට ගිනි තැබූ පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ නියෝග කෙරුණි.

තිස්ස කුමාර මහතාගේ නිවසේ පෝටිකෝව යට නතරකර තිබුණු යතුරුපැදියකට ගිනි තබා හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (06) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පොලොන්නරුව 28 කණුව, පාරමී මාවතේ පදිංචිකරුවකු වන සචින්ත එරන්දක (35) මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බව පොලොන්නරුව පොලීසිය සඳහන් කළේය.

මෙම ගිනි තැබීමෙන් යතුරුපැදියක් මුළුමනින්ම විනාශ වී ඇති බවත් නිවසට සහ තවත් දේපොළවලටද ගින්නෙන් හානි වී තිබෙන බවත් පොලීසිය සඳහන් කරයි.

මෙම ගිනි තැබීම වන විට තිස්ස කුමාර මහතා නිවසේ සිට නැත. නිවසේ රැඳී සිට ඇත්තේ බිරිඳ හා දරු දෙදෙනා පමණි. අසල්වාසීන් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම ගිනි තැබීම පුද්ගලික ආරවුලක් මත සිදුවූවක් බව සඳහන් වන බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ සිරිපුර සමූහ – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT