සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ දෙවොල් දෙවියන්ගේ පිළිමයේ මැණික් ගල් ගැලවීමට ගිය පුද්ගලයකු ඊයේ (06) ඇද වැටී මිය ගොස් ඇතැයි මීටියාගොඩ පොලීසිය පවසයි.
මරණකරු දෙවොල් දෙවියන්ගේ පිළිමයට නැඟ එහි තිබූ මැණික් ගල් ගැලවීමට ගොස් ඇති බවත් එහිදී බිමට ඇද වැටීමෙන් මෙම මරණය සිදුව ඇති බවත් විමර්ශනවලින් හෙළිවූ බව පොලීසිය සඳහන් කරයි.
සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලය ඇත්තේ මුහුදේ ඇති දූපත් කොටසකය. හිස් ප්ලාස්ටික් බෝතල්වලින් සමන්විත බෑග් දෙකක් යොදා ගනිමින් ඔහු පෙරදින රාත්‍රී කාලයේ දේවාලයට පිහිනා ගොස් ඇතිබවට තෙරතුරු අනාවරණය වී ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.
මරණකරු පිහිනා යෑමට යොදා ගත් හිස් ප්ලාස්ටික් බෝතල් දේවාලය අසල මුහුදේ කණුවක එල්ලා තිබී පොලීසියට හමුවී ඇත.
මෙම පුද්ගලයා සිය මුහුණ බැනියමකින් ආවරණය කරගෙන දේවාලයේ දොර කඩා ඊට ඇතුළුවී ඇති බවත් ඉන් පසුව දේව පිළිමය දිගේ උඩට ගොස් දේව පිළිමයේ නළලේ තිබූ මැණික් ගැලවීමට තැත් කර ඇති බවත් විමර්ශනයේදී පෙනී ගොස් ඇත.
පිළිමයේ මැණික් ගලවන විට ඔහු ඇද වැටෙනු දේවාලයේ සීසීටීවී කැමරා දත්තවල සටහන්ව ඇති බවත් පොලීසිය පවසයි.
මරණකරු පිළිමයට උඩින් තිබූ විදුලි වයරයක් අල්ලාගෙන සිට ඇති බවත් එහිදී වයරය ද කැඩී ඔහු බිමට වැටෙනු එම දර්ශනවල ඇතුළත්ව ඇතැයි ද පොලීසිය කියයි.
ඊයේ උදෑසන දේවාලයේ ප්‍රධාන කපු මහතා දේවාලයේ වතාවත් කිරීමට සූදානම් වීමේදී මෙම සිද්ධිය දැක දේවාල භාරකරුට දැනුම් දීමෙන් අනතුරුව මීටියාගොඩ පොලීසියේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ අරඹා තිබේ. ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතා සහ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් මෙම ස්ථානයට පැමිණ මූලික විමර්ශන කටයුතු සිදුකරනු ලැබීය.
මියගොස් සිටි පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරුකර ගැනීමට විමර්ශන පවත්වන බව පොලීසිය සඳහන් කරයි.
කරන්දෙණිය සමූහ – අනුරාධ ප්‍රියදර්ශන