අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන්වරයකු ඊයේ අලුයම 5.20ට පමණ තම රාජකාරි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
ඔහු රාජකාරි කරන අවස්ථාවේදී මෙලෙස වෙඩි තබාගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පසුගිය වසරේ මෙම සැරයන්වරයාගේ බිරිය පිළිකාවෙන් මියගොස් ඇති බව ද වාර්තා වේ.
ඉකුත් 05 වැනිදා රාත්රී පදියතලාව පොලිස් ස්ථානයේ රාජකාරි සඳහා යොදවා ඇති අතර තමන්ගේ ඇස් දෙක පෙනීමේ අඩු බව පවසා පදියතලාව පොලීසියේ ඉදිරියේ මුරකුටියේ රාජකාරිය ඉල්ලා ගෙන එම මුරකුටියේ සේවය කර ඇති අතර අද අලුයම මුරකුටිය තුළදීම රාජකාරි ගිනිඅවියෙන් නිකට පෙදෙසට වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන තිබේ.
මෙම පොලිස් සැරයන්වරයා ලබන වසරේ විශ්රාම යෑමට නියමිතව තිබූ බව ද පැවසේ.
මෙසේ සියදිවි හානි කරගෙන ඇත්තේ බිබිල දියකොබල ප්රදේශයේ පදිංචිව සිටි පොලිස් සැරයන් (65160) ඩී.එම්. ධනපාල නමැති තිදරු පියෙකි.
පදියතලාව නමැති පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහිත ගුණසේන මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
දිගාමඬුල්ල විශේෂ – වසන්ත චන්ද්රපාල සහ පදියතලාව සමූහ – ඒ. එම්. වසන්ත කුමාර