Home » කුරුණෑගල ඡන්ද දායකයන් පිරිසකට ඡන්ද මධ්‍යස්ථාන මාරු වී කලබලයක්

කුරුණෑගල ඡන්ද දායකයන් පිරිසකට ඡන්ද මධ්‍යස්ථාන මාරු වී කලබලයක්

වැරදි මධ්‍යස්ථානයේදී ඇඟිල්ලත් පාට කරලා

by sachintha
May 7, 2025 12:53 am 0 comment

 

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පොළවල් මාරු වීම හේතුවෙන් ඡන්ද දායකයන්ට අනපේක්ෂිත සිදුවීම්වලට මුහුණ පෑමට සිදු වූ බව වාර්තා වේ.

ඇතැම් ඡන්ද දායකයන්ට ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී නියමව තිබූ ඡන්ද මධ්‍යස්ථානය වෙනුවට මෙවර මැතිවරණයේදී වෙනත් ඡන්ද මධ්‍යස්ථානයක් නම් කර තිබීම මෙම අවුල්සහගත තත්ත්වයට හේතුව වී තිබෙන බව පැවසේ. එවැනි සිදුවීම් කිහිපයක්ම ඊයේ (6) කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.

ඒ අනුව, කුරුණෑගල මැතිවරණ කොට්ඨාසයට අයත් පුත්තලම මාර්ගයේ පිහිටි අංගංගල, යන්තම්පලාව, කොහිළපොකුණ සහ තිත්තවැල්ල සාරගම විහාරස්ථානවල පිහිටි ඡන්ද මධ්‍යස්ථානවලින් මෙම සිදුවීම් වාර්තා වී තිබේ. ඡන්ද පත්‍රිකාවේ සඳහන් කර ඇති නව ඡන්ද මධ්‍යස්ථානය පිළිබඳව ඇති විස්තර සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකළ ඡන්ද දායකයන් තමන්ට හුරුපුරුද පැරණි ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් ඡන්දය දැමීමට යෑම හේතුවෙන් මෙම අවුල්සහගත තත්ත්වය ඇති වී තිබෙන බව වාර්තා විය. ඒ අනුව, යන්තම්පලාව බොරළුපොකුණ විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය භාවිත කිරීමට නියමිතව තිබූ එක් ඡන්ද දායකයකු වැරදීමකින් සාරගම විහාරස්ථානයේ තිබූ ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් ඇත. එහිදී රාජකාරියේ නියුතු ඡන්ද පොළ නිලධාරීන් ඔහුගේ ඇඟිල්ලක තීන්ත සලකුණ පවා යෙදීමෙන් පසුව ඔහු එම මධ්‍යස්ථානයට ඇතුළත් නොවන අයකු බව අනාවරණය කරගෙන තිබේ.

ඉන් අනතුරුව ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයා මේ බව කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ පැමිණිලි තොරතුරු කාර්යාංශය භාර ප්‍රධානී වශයෙන් කටයුතු කරන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතාට දැනුම් දීමෙන් අනතුරුව ඒ මහතා එම ස්ථානයට පැමිණ සිදුව තිබූ වරද නිවැරදි කිරීමට පියවර ගෙන තිබුණි. පසුව ආබාධිත තත්ත්වයක පසුවූ එම ඡන්ද දායකයා නියමිත ඡන්ද මධ්‍යස්ථානය වෙත තම රථයෙන් ගෙන යෑමට ද කොමසාරිස් ජනරාල්වරයා පියවර ගත් අයුරු දැකගත හැකි විය.

ඡන්ද දායකයන් තම ඡන්ද පත්‍රිකාවේ සඳහන් විස්තර සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකිරීම මෙවැනි වැරැදීම්වලට හේතුව බව කමල් අමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

කුරුණෑගල අතිරේක

පුෂ්පකුමාර ජයරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT