නූලෙන් සිදු කළ හැක්කේ ඇඳුම් මැසීම පමණක් නොවේ. දක්ෂ කලාකරුවකුට නූලෙන් කළ හැකි නිර්මාණ බොහෝය. මේ අතරින් විවිධ පාට නූල් යොදා ගනිමින් සිතුවම් නිර්මාණය කිරීමේ නියැළුණු කලාකරුවකු ලෙස චමත් ජයතිරත්න මහතා හඳුන්වා දිය හැකිය. හතරැස් කාඩ්බෝඩ් එකක ඇණ ගසා ඒ මත නූලෙන් වියන සිතුවම හරි අපූරුය. ප්‍රසිද්ධ පුද්ගලයන්, සත්ත්ව රූප, මල්, දළදා මාලිගාව මෙන්ම විවිධ දර්ශන ද ඔහු සිතුවමට නඟා තිබෙන්නේ සිතා ගැනීමටවත් නොහැකි අන්දමටය. පොල්ගස්ඕවිට, වෑතර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරන 54 හැවිරිදි චමත් ජයතිරත්න මහතා ලැබෙන සුළු විවේක කාලය ප්‍රයෝජනට ගන්නේ මේ අයුරින් විවිධ සිතුවම්, ගෙත්තම් කිරීම සඳහාය.
මේ පිළිබඳව ඔහු මෙලෙස හඬ අවදි කළේය.
“මම ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ. පොඩි කාලේ ඉඳලම චිත්‍ර අඳින්න ආසයි. සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළටත් කළේ චිත්‍ර විෂය. මම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා ගෙදර ඉන්න කාලේ මහලා තිබුණු ඔරුවක පින්තූරයක් දැක්කා. ඒක දැක්කට පස්සේ මට හිතුණා අලුත් දෙයක් කරන්න ඕනෑ කියලා. මං කල්පනා කළා නූල්වලින් මහන්නෙ නැතුව නිර්මාණයක් වියන්න පුළුවන්ද කියලා. මුලින්ම නැට්ටුවකුගේ රූපයක් කාඩ්බෝඩ් කෑල්ලක ඇඳලා ඒ හැඩේට ඇණ ගහලා අවශ්‍ය විදිහට පාට නූල් ඇණවල රඳවලා බැලුවා. ඒක සාර්ථක වුණා. ඒ විදිහට මම දිගටම විවිධ නිර්මාණ කරන්න පටන් ගත්තා. නුවර පෙරහර, දළදා මාලිගාව, නැට්ටුවො, ප්‍රසිද්ධ පුද්ගලයෝ වගේ ඕනෑම දෙයක් මේ විදිහට මට නූලෙන් වියන්න පුළුවන්. මේ වෙනකොට මම ලංකාවේ විවිධ ප්‍රදේශවල මගේ චිත්‍ර එකතු කරලා ප්‍රදර්ශන පවත්වලා තියෙනවා. මේ මාසේ 12, 13 සහ 14 දිනවලත් පොල්ගස්ඕවිට ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ‘ගෙත්තම් සිත්තම්’ නමින් මගේ 22 වැනි චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු සූදානම් කර තියෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධෙන් දිනපු වෙලාවේ මම එතුමාගෙ පින්තූරයක් නිර්මාණය කරලා තෑගි දුන්නා. ඒ වගේම හෙළ සිනමාවේ නිළි රැජන මාලනී ෆොන්සේකා මහත්මියගේ සිනමා දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් තිබුණු උත්සවයේදීත් ලතා වල්පොළ මහත්මිය සමඟ මම ඇගේ පින්තූරයක් තෑගි දුන්නා. මම දැනට අන්තිමටම නිර්මාණය කළේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයාගේ පින්තූරෙයි. සංස්කෘතික අමාත්‍යාංශයෙන් 1994දි පවත්වපු රාජ්‍ය සම්මාන උලෙළට මම ඉදිරිපත් කරපු වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවන්ගේ චිත්‍රයට පළමුවැනි ස්ථානයත්, අනාගාරික ධර්මපාලතුමාගේ චිත්‍රයට දෙවැනි ස්ථානයත් හිමි වුණා. ඊට පස්සේ ශාන්ති පදනමෙන් කරපු තරගෙකට මිශ්‍ර චිත්‍රයක්, ඒ කියන්නෙ කොටසක් නූල්වලිනුත් කොටසක් පාට කරලත් ඉදිරිපත් කළා. ඒකටත් පළමුවැනි ස්ථානය ලැබුණා. එදා ඉඳලා කරපු නිර්මාණ සේරම මම එකතු කරනවා මිසක් එකක්වත් කාටවත් විකුණන්නෙ නෑ.
මං මේ නිර්මාණ කරන්නේ මුදල් බලාගෙන නෙමෙයි. කවුරුහරි මගේ නිර්මාණ බලලා සතුටු වෙනවා නම් ඒක තමයි මට ලැබෙන ලොකුම සතුට.”
හල්තොට සමූහ – විනීතා මානෙල් ගමගේ