Home » අයිපීඑල් අවසන් හතරට කණ්ඩායම් 7ක් සටනේ

අයිපීඑල් අවසන් හතරට කණ්ඩායම් 7ක් සටනේ

by sachintha
May 7, 2025 1:26 am 0 comment

මෙවර අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට එක්වීම සඳහා කණ්ඩායම් 7ක් මේ වන විට තරගයක නිරතව සිටී.

කණ්ඩායම් 10ක් එක්වූ තරගාවලියේ තරග 55ක් නිමා වන විට චෙන්නායි සුපර් කිංග්ස්, රාජස්තාන් රෝයල්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම්වලට අවසන් වටයට එක්වීමේ අවස්ථාව අහිමිව තිබේ.

මේ වන විට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඉදිරියෙන්ම පසු වන්නේ තරග 11කදී ජයග්‍රහණ 8ක් සමඟ ප්‍රසාද ලකුණු 16ක් ලබා ගනිමිනි. පන්ජාබ් කිංග්ස් පිල තරග 11කින් 7ක් ජයගෙන විසඳුමක් සහිත තරගයක් ද සමඟ ලකුණු 15ක් සමඟ දෙවැනි තැන පසුවන අතර, මුම්බායි ඉන්දියන් තරග 11කදී ජයග්‍රහණ 7ක් සමඟ තෙවැනි ස්ථානයේත්, ගුජරාට් ටයිටන්ස් පිල තරග 10කදී ජයග්‍රහණ 7ක් සමඟ සිවුවැනි තැනත් පසු වෙයි.

දිල්ලි කැපිටල්ස් (13), කොල්කටා නයිට් රයිඩර්ස් (11) සහ ලක්නව් සුපර් ජයන්ට්ස් (10) කණ්ඩායම්වලට ද අවසන් වටයට එක්වීමේ අවස්ථා තිබේ.

කෙසේ වෙතත් මේ සඳහා ඉතිරිව ඇත්තේ මූලික වටයේ තවත් තරග 15ක් පමණි. තරග 3ක් ඉතිරිව තිබෙන බැංගලොර් කණ්ඩායමට අවසන් වටයේ තැනක් තහවුරු කර ගැනීමට තව එක් ජයග්‍රහණයක් ප්‍රමාණවත් වන අතර, ඉදිරියෙන් පසුවන සෙසු කණ්ඩායම් 3ට (පන්ජාබ්, මුම්බායි සහ ගුජරාට්) ජයග්‍රහණ දෙකකින් පහසුවෙන්ම අවසන් වටයේ ස්ථාන වෙන් කර ගැනීමට හැකි වනු ඇත.

බැංගලෝර් පිලට ලක්නව්, හයිද්‍රාබාද් සහ කොල්කටා තරග ඉතිරිව ඇති අතර, පන්ජාබ් පිල දිල්ලි, මුම්බායි සහ රාජස්තාන් කණ්ඩායම් සමඟ තරග වැදීමට නියමිතය. ඉහළම දළ ලකුණු වේගයක් රඳවාගෙන සිටින මුම්බායි පිලට ගුජරාට් සමඟ තරගය (ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ) සහ පන්ජාබ්, දිල්ලි තරග ඉතිරිව තිබේ.

සිවුවැනි තැන සිටින ගුජරාට් පිල තවමත් තරග 10ක් පමණක් ක්‍රීඩා කර තිබීම ඔවුන්ට වාසියක් වී ඇති අතර, මුම්බායි, දිල්ලි, ලක්නව් සහ චෙන්නායි තරග ඉතිරිව තිබේ.

සෙසු කණ්ඩායම් වන දිල්ලි පිලට (11) ලකුණු 17ක් අවශ්‍ය වන අතර, පන්ජාබ්, ගුජරාට් සහ මුම්බායි තරග ඉතිරිව තිබේ. ඔවුන් එම තරග 3ම ජය ගැනීම අනිවාර්යය වන අතර, කොල්කටා (11) සහ ලක්නව් (10) කණ්ඩායම්වලට ද ඉතිරි තරග ජය ගැනීම අනිවාර්ය වී තිබේ. කොල්කටා පිලට චෙන්නායි, හයිද්‍රාබාද් සහ බැංගලෝර් තරග ද ලක්නව් පිලට බැංගලෝර්, ගුජරාට් සහ හයිද්‍රාබාද් තරග ඉතිරිව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT