Home » නැත කීවත් ඇත නවකවදය

නැත කීවත් ඇත නවකවදය

by sachintha
May 7, 2025 1:50 am 0 comment

 

විශ්වවිද්‍යාල නවකවදය පිළිබඳ සංවාදයේදී සංවාදයට ලක්වන මූලික කරුණක් නම් ශිෂ්‍ය සංගම් හා නවකවදය අතර ඇති සම්බන්ධය යි. නවකවදය පිළිබඳ ඉතිහාසය සැලකිල්ලට ගැනීමේදී නවකවදය ශිෂ්‍ය සංගම් විසින් නිර්මාණය කරන ලද දෙයක් නොවන බව පැහැදිලි ය. විශේෂයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මෙහි ආරම්භයට සම්බන්ධයක් නොමැති බව පැහැදිලි වන්නේ එම සංගමය ආරම්භ වීමට ප්‍රථම සිට නවකවදය විශ්ව විද්‍යාලවල තිබී ඇති බැවිනි.

මෙහිදී වඩාත් වැදගත් වන්නේ සරසවි තුළ නවකවදය කවුරු විසින් ඇති කළාද යන්නට වඩා ශිෂ්‍ය දේශපාලනය හා නවකවදය අතර ගොඩ නැඟී ඇති සම්බන්ධයේ ස්වරූපය යි. මෙහිදී බොහොමයක් ශිෂ්‍ය සංගම් ක්‍රියා කර ඇත්තේ පවතින ව්‍යුහයේ ස්වරූපය තමන්ගේ ආකල්ප වලට අනුව වෙනස් කිරීම වෙනුවට එම ස්වරූපය තමන්ගේ දේශපාලන අරමුණ වෙනුවෙන් භාවිතා කිරීම ය. සමාජයේ සාමාජිකයන් ගේ සාමුහික අනන්‍යතා නිර්මාණය කරන ජාතිය යන සාධකය ඇතැම් වාමාංශිකයින් විසින් තම දේශපාලනය සමඟ සම්බන්ධ කිරීම මෙනි. එනම් අන්තර්ග්‍රහණය කරගෙන ප්‍රයෝජනයට ගැනීම ය.

මෙමඟින් එක් අතකට සරසවි ප්‍රජාව එතෙක් තම ප්‍රමෝදය කළමනාකරණය කර ගත් ආකෘතියක් අභියෝගයට ලක් නොවුනු අතර තවත් අතකට ශිෂ්‍ය දේශපාලනය ගැටලුකාරීත්වයකින් තොරවම ශිෂ්‍ය සාමූහික අනන්‍යතාවයේ කොටසක් බවට පත්විය. එනම් ශිෂ්‍ය දේශපාලනය පිටත දෙයක් නොව ඇතුළත දෙයක් බවට පත්විය. මෙය ශිෂ්‍ය සංවිධාන වලට තමන්ගේ දේශපාලනය සඳහා සිසුන් බලමුළුගැන්වීමට විශාල රුකුළක් විය. විශාල සමාජ විරෝධයක් තිබුණද සරසවි තුළ බලයේ සිටින ශිෂ්‍ය සංගම් නවකවදය නැවැත්වීම සඳහා මැලිවන්නේ ශිෂ්‍ය ප්‍රජාව බලමුළුගැන්වීම සඳහා නවකවද ක්‍රියාකාරීත්වයේ ඇති දායකත්වය පිළිබඳ අවබෝධයෙනි. ශිෂ්‍ය දේශපාලනයේ සංවිධායකයන් අවිධිමත් සංවාද වලදී නවකවදයට අත තියනවනම් සරසවිවල දේශපාලනය කළ නොහැකි යැයි පවසන්නේ මෙම පොළවේ අවබෝධයෙනි. මෙහිදී ශිෂ්‍ය දේශපාලන න්‍යායචාරීන්ට වඩා ඔවුන් අවංක ය. ශිෂ්‍යයන් තම ප්‍රකාශිත මතවාද වලට හා ක්‍රියාකාරීත්වයන්ට දායක කර ගැනීමට නම් ශිෂ්‍යයන් මත බලපවත්වන අප්‍රකාශිත හා අශ්ලීල බලපෑම් ක්‍රියාකාරීත්වයක සහය වැදගත් ය. ජිජැක් පවසන ආකාරයට ප්‍රකාශිත මතවාදී පාඨ සහ භාවිතාවන් දරාගනු ලබන්නේ අශ්ලීල උපරි අහමීය අතිරේක මාලාවක් මගිනි. (ජිජැක්, 170)

නවකවදය පවතින්නේ විශ්වවිද්‍යාල තුළ පමණක් නොවේ. මා පාසල් යන කාලයේ අපගේ පාසලේ නවක ශිෂ්‍ය නායකයින්ට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයින් විසින් අතිශය දරුණු නවකවචයක් දුන් බව මම දැනගෙන සිටියෙමි. මෙය පාසලේ අනිකුත් ශිෂ්‍යයන් බහුතරයක් නොදැන සිටි අතර ශිෂ්‍ය නායක ප්‍රජාව අතරේ පමණක් සුරැකි රහසක් විය. විශ්වවිද්‍යාලවලට වඩා දරැණු ආකාරයෙන් නවකවදය ක්‍රියාත්මකවන තැන් අප සමාජයේ ඇත. විවිධ පුද්ගලික ආයතන තුළ, පාසැල් ක්‍රීඩා කණ්ඩායම් තුළ, විවිධ අධ්‍යාපන ආයතන තුළ සහ ආරක්ෂක හමුදා තුළ නවකවද ක්‍රියාකාරීත්වයන් පවතී. එමෙන්ම මෙය ලංකාවේ, එසේත් නැත්නම් ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින තත්ත්වයක් පමණක් නොවේ.

මෑතක දී ඔස්ට්‍රේලියාවේ නේවාසික විද්‍යාලවල සිදුවන නවකවදය දීම් හා ස්ත්‍රී විරෝධී භාවිතාවන් පිළිබඳ සමීක්ෂණයක යෙදුනු රෙඩ් සෝන් නැමති සංවිධානය නිකුත් කරන ලද වාර්තාවකට අනුව විශේෂයෙන් සිඩ්නි විශ්වවිද්‍යාලයට අයත් නේවාසික විද්‍යාලවල මෙම තත්ත්වය ඉතා බරපතළ බව වාර්තා කර ඇත. එමෙන්ම සිඩ්නි විශ්වවිද්‍යාලය විසින්ම නිකුත් කරනලද වාර්තාවකට අනුව සෑම ශිෂ්‍යාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු ලිංගික හිංසනය අත්දැක ඇති බව පෙන්වා දී ඇත. එනිසා නවකවදය හුදෙක් අධ්‍යාපනය වෙළෙඳපළකරණය කිරීමට සහය දක්වන පාර්ශ්වයන් තර්ක කරන ආකාරයට රාජ්‍ය විශ්වවිද්‍යාලවල හා ලංකාවේ විශ්වවිද්‍යාලවල ආවේණික වූ ලක්ෂණයක් නොවේ.

කෙසේ වුවත් නවකවදය ඉතා දරුණු මට්ටමෙන් වෙනත් විවිධ සමාජ ව්‍යුහ තුළද හඳුනාගත හැකි වුවද සමාජය තුළ වඩාත් ප්‍රචලිතව ඇත්තේ විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවදය යි. එම නිසාම නවකවදය සම්බන්ධයෙන් පිටත සමාජයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ නවකවදයට සම්බන්ධ පාර්ශ්වයන්ට එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සිදුවී ඇත. මේ සඳහා විවිධ කාල වලදී එකිනෙකට වෙනස් තර්ක සහ හේතු දැක්වීම් ඉදිරිපත් වී ඇත. නුමුත් මෙම තර්කවල සුජාතභාවය එන්න එන්නම දියාරු වෙමින් පවතී.

උදාහරණයක් ලෙස නවකවදය කියා දෙයක් සරසවි තුළ නොමැති බව ට තර්කයක් මතු වුවද එය එතරම් ශක්තිමත් තර්කයක් නොවන්නේ තොරතුරු පාලනය කිරීමට තරම් ශක්තිමත් ආවෘත ව්‍යුහයක් සරසවි තුළ දැන්‍නොමැති බැවිනි. එමෙන්ම, විවිධ සමාජ පසුබිම් වලින් පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පොදු සමාන තලයකට ගෙන ඒමේ ක්‍රියාකාරීත්වයක් ලෙසට නවකවදය හැඳින්වීමේ ප්‍රබල තර්කයක් කලක මතුවූ අතර එම අවකාශය සමාජවාදී කඳවුරේ බිඳවැටීමත් සමඟ අතාර්කික විය. සමාජය හා ගැටී අත්දැකීම් නැතිව, ආරක්ෂාකාරී පවුලක් තුළ හැදී වැඩී, සරසවියට පැමිණෙන සිසු සිසුවන්ව බාහිර පවතින දරදඬු සංකීර්ණ සමාජය දරා ගැනීමට හැකියාව ලැබෙන ආකාරයේ දැඩි පුද්ගලයන් බවට පත් කිරීමේ යම් ආකාරයක සමාජානුයෝජන හා පෞරුෂ වර්ධන ක්‍රියාවලියක් ලෙසද නවකවදය සාධාරණීකරණය කෙරිණි.

එහෙත් බලහත්කාරී ලෙස දේවල් කරවීමෙන්, තර්ජනාත්මක බැණ වැදීම්වලින්, සමච්චලයට හා නින්දාවට භාජනය කරවීමෙන්, හා ලිංගිකත්වයට නිරාවරණය කිරීමෙන් යමෙකුගේ පෞරුෂය වර්ධනය වනවා යන අදහස කිසිම ආකාරයේ සමාජ හා මනෝවිද්‍යාත්මක දැනුම් පද්ධතියකින් ගලවා ගතහැකි හෝ ඔප්පු කර ගත හැකි තර්කයක් නොවේ. උප සංස්කෘතික පිළිබඳව ගෙන එන තර්කයද මෙලෙසම අනාරක්ෂාකාරී වන්නේ උප සංස්කෘතිය පිළිබඳ විශාල සමාජ විද්‍යාත්මක අධ්‍යයන ක්ෂේත්‍රයක් වර්ධනය වී ඇති හෙයිනි. කෙසේ වෙතත් නවකවදය පවතින්නේම අප්‍රකාශිත, අතාර්කික හා අශ්ලීල නීතියක ස්වරූපයෙන්ම වන බැවින් එයට සංකේතමය අර්ථයක් දීමට කරන වෑයම අසමත්වීම් වලින් ගහණ අනවරථ ක්‍රියාවලියක් වීමට නියමිත ය.

බුද්ධික බණ්ඩාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT