කොලොම්බියාවේ බෝගෝටාහි හිටපු නගරාධිපතිවරයෙක් වෙන එන්රීකේ පෙඥලෝසා කියන පරිදි දියුණු රටක් කියන්නේ දුප්පත් මිනිසාත් පෞද්ගලික වාහනයක යන රටක් නෙවෙයි, පොහොසත් මිනිසාටත් පොදු ප්‍රවාහනය භාවිතයට හිත දෙන රටකට යි.
ශ්‍රී ලංකාවේ අප බොහෝ දෙනාගේ සිහිනය අපටම කියා වාහනයක් ගැනීම යි. බොහෝ මැතිවරණ පොරොන්දුවලදිත් සැමටම පුද්ගලික කාරයක් ගත හැකි වැඩපිළිවෙළක් ගැන කතා කෙරෙනවා. ඒවගේම රටක් විදියට ගත හැකි විසඳුම් කතා කරන විට අප නිතැතින්ම “දියුණු” රටවල් යැයි අප හඳුනාගන්නා රටවල ඇති සුඛෝපභෝගී විසඳුම්වලට ප්‍රමුඛතාවය දක්වනවා. ආර්ථික බංකොළොත්භාවයෙන් ගොඩඑමින් සිටින රටක් ලෙස අපට තවමත් ගැළපෙන විසඳුම් මොනවාදැයි හඳුනාගැනීමට උනන්දුවක් නැහැ. තවත් රටක ක්‍රියාත්මක වන විසඳුමක් වුව අප රට තුළ එලෙසම සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්රාග්ධනය හෝ ව්‍යුහයන් අපට නැති බව අප සැලැකිල්ලට ගත යුතුයි.
ලංකාවේ මාර්ග තදබදය එන්න එන්නම වැඩිවෙන හැටි, නගරවල වායු දූෂණය සහ රස්නය ඉහළ යන හැටි අපිට අත්දකින්න ලැබෙනවා. මාර්ග අනතුරු සහ පාරේ ගත කරන වෙලාව, සහ ආතතිය වැනි දෑත් වැඩි වීම සුලබ කාරණයක්. නමුත් අපි හැමෝම පෞද්ගලිකවත්, රටක් විදියටත් වාහන ගෙන්වීමට, වාහනයක් අයිති කරගැනීමට සහ වාහනවලට ප්‍රමුඛතාවය දෙන යටිතල පහසුකම් සහ නගර සංවර්ධනයට මූලිකත්වය දෙනු ලබනවා.
අප හැමෝම පරිසරය දූෂණය, අධික තදබදය හා නාගරික රස්නය වැඩිවීම වැනි කාරණාවලට තනි තනිවම පිළිතුරු සෙවීමට බලාපොරොත්තු වෙනවා. නිවස සහ වාහන වායුසමනය කිරීම, ඇවිදීම සහ බයිසිකල් පැදීම වෙනුවට පුද්ගලික වාහනයක් හෝ කුලී රථයක් භාවිතය තුළින් සහනයක් අප බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ පෞද්ගලික විසඳුම් පොදුවේ අප මුහුණ දෙන තත්ත්වය තව තවත් නරක අතට හරවනවා.
අප සැමට පහසුවෙන් ගමන් කළ හැකි ප්‍රවාහන සේවයක් ගැන සිහින දකින කෙනෙක්ට වුණත් මඟහැරීමට හිතෙන පොදු ප්‍රවාහන පද්ධතියක් තමයි මේ වන විට ලංකාවේ තිබෙන්නේ. මෙහිදී පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට ජනතාවගේ ආකල්ප වෙනස් කළ යුතු යැයි ඇතැම් පිරිස් ප්‍රකාශ කළත් ව්‍යුහාත්මක වෙනස්කම් සමඟ අත්වැල් බැඳ යන තුරු මෙය පහසු කටයුත්තක් නොවෙයි.
වෙලාවට ගමන් කරන බස් රථ සහ දුම්රිය, මඟී ධාවන පථ පොදු ජනතාවගේ ගමන් මාර්ග අධ්‍යයනය කර යාවත්කාලීන කිරීම සහ එකිනෙකට නිසි ලෙස සම්බන්ධ කිරීම, බයිසිකල් පැදීමට සහ ඇවිදීමට සුදුසු නගර සැදීම වගේම මේ තිරසර ප්‍රවාහන විසඳුම් එකිනෙක සම්බන්ධ කිරීම් මෙහිදී වැදගත්. උදාහරණයක් ලෙස දුම්රිය සහ බස් නැවතුම්පොළවල ආරක්ෂිතව බයිසිකල් නවතා යා හැකි පහසුකම් සහ බස් රථ සහ දුම්රියවල බයිසිකල් රැගෙන යා හැකි පහසුකම් හැඳින්විය හැකියි.
එසේම පාක් ඇන්ඩ් රයිඩ් වැනි පොදු ප්‍රවාහන මධ්‍යස්ථානවල වාහන නවතා යෑමද සාර්ථකව කරන රටවල් දැක ගත හැකියි. මෝටර් රථ ගමනාගමනයෙන් තොර නාගරික කලාප වගේම වාහන ගාල් කිරීමට වැඩි මිලක් අය කිරීම වැනි විසඳුම් මෙහිදී අනුගමනය කළ හැකි අනෙකුත් විසඳුම් ය.
කෙසේවෙතත්, මෙහිදී අවධාරණය කළ යුතු ප්‍රධානම කාරණයක් වන්නේ ආකල්ප වෙනස සහ ව්‍යුහාත්මක වෙනස්කම් දෙකම සමාන්තරව සිදුවිය යුතුය යන්න යි. අප තවමත් සමාජ තත්ත්වය වාහනයෙන් මනින, ගමේ ජීවත්වෙමින් නගරයේ වැඩ කිරීමට පැය ගණන් ගමන් කිරීමට කැමති, ඉතාම හදිසියක් ඇති, කෙටි දුරක් හෝ පයින් ගමන් කිරීමට අකමැති පිරිසකි. ඕනෑම කෙටි දුරක් පුද්ගලික වාහනයකින් හෝ කුලී රථයකින් ගමන් කිරීම අපගේ සෞඛ්‍යයටද එතරම් හිතකර නැත. ලෝකයට ණය වී හෝ සැහැල්ලු දුම්රිය වැනි ෆැන්සි විසඳුම් ගැන රටක් වශයෙන් අප සිහින දකිනවා විනා ගමේ පාරේ බස් එක නිසි ලෙස ක්‍රියාත්මක කරගැනීමෙන් අපේ ජීවන තත්ත්වය උසස් වන බව අප අමතක කර ඇත. ණයබරින් මිරිකුණු දුප්පත් රටක් වන අපට තිබෙන සම්පත් කළමනාකරණය කරගෙන ලබා ගත හැකි විසඳුම් මොනවාදැයි සිතීමට හැකි විය යුතු ය. තිබෙන සම්පත්වලින් සහ මේ පවතින තත්ත්වය තුළින්ම අපටම අනන්‍ය වූ ගමනක් සාදාගැනීම හෙමින් ගමනකි. එයට අප හැමදෙනාගේම දායකත්වය අවශ්‍ය වේ.
පරිසරය ගැන අපේ දරුවන්ගේ අනාගතය ගැන සිතන කෙනෙක්ට තව දුරටත් මේ ජීවන රටාවෙන් ඉදිරියට යාම අපහසු දෙයක් බව තේරුම් ගැනීමට හැකිවිය යුතුය. අප එය තේරුම් නොගෙන ඇතුවා පමණක් නොව අප ඊට විසඳුම් ලෙස දකින්නේ රට හැර යාම වැනි පුද්ගලික විසඳුම් පමණක්වීම ඉතාම කනගාටුදායක යි.
නාගරික ජීවිතයකට හුරුවීමට අකමැති, තට්ටු නිවාසවල ජීවත්වීමට අකමැති බොහෝ අය පිටරට වලට ගොස් එසේ ජීවත් වෙනු දැකිය හැකියි. ඒ රටවල පොදු ප්‍රවාහනය නිසි අයුරින් ක්‍රියාත්මක වීමට සහ ග්‍රාමීය පරිසරය තවමත් සුරැකී තිබීමට හේතුව නාගරික ජීවිතය බව තේරුම් නොගන්නා අප එවැනි රටවලද ලංකාවේදී මෙන් තමන්ටම කියා මිදුලක් සමඟ තනි නිවාසයක් ග්රාමීයව ලබාගැනීමට උත්සාහ දරනු දැකිය හැක. රැකියා ස්ථානය පැය ගණනක් දුරින් ජීවත්වෙමින් දිනපතා ගමනාගමනය තමන්ගේ කාලය නාස්තියට මෙන්ම මාර්ග සහ පාරිසරික ගැටලුවලටද මූලික කාරණයක්.
පොදු ප්‍රවාහනය යනු අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි තවත් සේවාවක් මිස ලාභ ලබන ව්‍යාපාරයක් නොවේ. සෞඛ්‍යයට, සහ අධ්‍යාපනයට පුද්ගලයෙකුට ඇති අයිතිය තරමටම වටිනා අයිතියක්.
ගමනාගමනයට සහ සේවාවන් වෙත ළඟාවීමට (accessibility and mobility) කෙනෙකුට තිබෙනවා. එය ඕනෑම කෙනෙකුගේ ජීවන තත්ත්වය උසස් කරගැනීමටද මඟ කියයි. එනිසා ඒ අයිතිය තහවුරු කළ හැකි පොදු ප්‍රවාහන සේවයක් රටක වගකීමක් ලෙස සැලකිය හැකියි. පසුගිය දශක කිහිපය පුරාවට අධිවේගී මාර්ග සහ අනෙකුත් මාර්ග සහ යටිතල පහසුකම් සංවර්ධනයට රට බංකොළොත් වන තරමට අප විදේශ ණය සහ ආයෝජන කර තිබුණද ග්‍රාමීය සහ ප්‍රාදේශීය බස් හෝ දුම්රිය භාවිතා කරන බහුතර පොදු ජනයාගේ පොදු ප්‍රවාහන අත්දැකීමේ තත්ත්වය උසස් වී නෑ.
ප්‍රවාහන විසඳුම් ලෙස සුවිශාල යටිතල පහසුකම් සංවර්ධනයට ණය මුදල් යෙදවීමෙනුදු අප සමාජයක් රටක් ලෙස පොදුවේ ප්රගමනයට යනු දැකගැනීමට පසුගිය දශක කිහිපය පුරා හැකිවී නෑ. ලංකාවේ ජනාවාස ව්‍යාප්ත වී ඇති ස්වභාවය සහ නගරවල පිහිටීම ගත් කල අපට වඩාත්ම ගැළපෙන විසඳුම බස් සේවාව ගුණාත්මක කිරීම බව විද්වතුන් පෙන්වා දී තිබෙනවා. දැනට ලංකාවේ රාජ්‍ය සහ පුද්ගලික සේවයේ බස් රථ සැලකිය යුතු ප්‍රමාණයක් ඇති බැවින්, ගුණාත්මක තත්වයේ බස් රථ මේ පද්ධතියට හඳුන්වාදෙන අතරම පවතින බස් සේවාව විධිමත් කිරීමට සහ නිසි රාජ්‍ය කළමනාකරණයකට නතු කිරීමට පියවර ගැනීම වැදගත්. “දියුණු” බස් සේවාවක් ඇති අනෙකුත් රටවලද පුද්ගලික බස් හිමියන් සහ බස් සේවාවන් සිටියද ඒවා එක් රාජ්‍ය ව්‍යුහයක් යටතේ කළමනාකරණය වනු දැකිය හැකියි.
අප අපට තිබෙන සම්පත් කළමනාකරණය කරගනිමින් ව්‍යුහාත්මක වෙනස්කම් කරගන්නවාත් සමඟම ධරණීය ප්‍රවාහන විසඳුම් පිළිබඳ අවධානය යොමු නොකළොත් අපගේ නගර වැඩි කාලයක් යන්නට මත්තෙන් විස දුමෙන් පිරුණු මානසික ආතතිය වැඩි කරන තැන් බවට පත්වෙනු නොඅනුමානයි. මෙය දැනටමත් මෙසේ නොවේ යැයි කිව නොහැකියි. ඒ නිසා අප ජීවත්වන රටාව ගැන අප මීට වඩා නිවී සැනසිල්ලේ සිතා බැලිය යුතු යි.
එසේම ලංකාව තුළ ගන්නා සෑම සැලැස්මකදීම ලංකාව ඝර්මකාලාපීය රටක් බව අප අමතක නොකළ යුතු යි. යටිතල පහසුකම් සංවර්ධනයේදී අප මෙය සැලකිල්ලට නොගැනීමේ ප්‍රතිවිපාක අපට දැක ගත හැකියි. පාරවල් සහ යටිතල පහසුකම් නිසා හදිසි නාගරික ගංවතුර, අධික රස්නයෙන් යුතු නාගරික ප්‍රදේශ (Urban heat islands) වැනි තත්ත්ව වලට මුහුණ දීමට අපට සිදුව ඇත්තේ ඒ නිසයි. බයිසිකල් පැදීමට තබා ඉතා කෙටි දුරක්වත් වාහනයකින් මිස පයින් යාමට සිත් නොදෙන රස්නයක් අපි නගර වල අත්දකිමින් සිටින්නෙමු.
එබැවින් අප මහා සුඛෝපභෝගී විසඳුම් වලට යාමට තරම් ආර්ථිකයක් නැති, ව්‍යාප්ත වූ ජනාවාස ඇති, ආර්ථික, සමාජ කටයුතු සහ සේවාවන් මධ්‍යගත වූ, ඝර්මකලාපීය රටක් ලෙස සිතමින් අපට ගැළපෙන ප්‍රවාහන විසඳුම් වලට යෑම අත්‍යාවශ්‍ය යි.
ආචාර්ය කෞෂල්‍යා හේරත්