Thursday, May 8, 2025
Home » ආණ්ඩුව විපක්ෂය සහ සර්ව ලෝක පූට්ටු

ආණ්ඩුව විපක්ෂය සහ සර්ව ලෝක පූට්ටු

by Gayan Abeykoon
May 8, 2025 1:00 am 0 comment

ළාත් පාලන මැතිවරණය හෙවත් පුංචි ඡන්දයේ ප්‍රතිඵල නිකුත් වී හමාර ය. මැතිවරණයට පෙර බොහෝ විචාරකයන් සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ සමස්ත පළාත් පාලන ආයතනවලින් බහුතරයක් දිනා ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබේ. සමගි ජන බලවේගය මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළ තරම් ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට සමත් වී නොමැත. විපක්‍ෂයේ සෙසු දේශපාලන පක්ෂ ද එසේම ය. ජනපතිවරණයෙන් සහ මහමැතිවරණයෙන් ජාතික ජන බලවේග රජයට ලබාදුන් සහයෝගය මෙවර  මැතිවරණයේදී ද යළි තහවුරු කොට තිබේ.

පළාත් පාලන මැතිවරණයකදී හෙවත් පුංචි ඡන්දයකදී ඡන්ද දායකයන්ගේ හැසිරීම තරමක් වෙනස් ආකාර වේ. ජනපතිවරණයකදී සහ මහමැතිවරණයකදී තරම් උණුසුම් දේශපාලනික වාතාවරණයක් මෙම මැතිවරණයේදී දක්නට නොලැබුණු අතර ඡන්ද පොළට යන ප්‍රතිශතය ද සාපේක්ෂව අඩු අගයක් ගනියි.

එමෙන්ම පළාත් පාලන මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජාතික දේශපාලනික කාරණාවලට වඩා පෞද්ගලිකත්වයේ හේතු සාධක ද ඉවහල් වේ. මැතිවරණ ප්‍රතිඵල පරීක්ෂා කිරීමේදී එය තවදුරටත් තහවුරු වේ.

මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වූයේ වසර හතකට පසුව ය. විවිධ හේතු සාධක මත පදනම් කොටගෙන පසුගිය රජය එම මැතිවරණය කල් දැමූ අතර එය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උල්ලංඝනය කර දැමීමකි. නමුත් වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬනඟන බොහෝ පිරිස් එම අවස්ථාවේ නිශ්ශබ්දව සිටි බව සිහිපත් කළ යුතුව ඇත.

කවර තත්ත්වයක් යටතේ වුව ද  පාලන තන්ත්‍රයේ ඉහළ සිට පහළට ම නැති නම් විධායකයේ සිට ව්‍යවස්ථාදායකය හා පළාත් පාලන ආයතන දක්වා වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙළ රටේ බහුතර ජනතාවක් අනුමත කොට ඇත.

ජනපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජයේ  ජනප්‍රියතාව මැනීමේ මිනුම් දණ්ඩක් ලෙස ද මෙම මැතිවරණය බොහෝ දේශපාලනික විචාරකයන් විසින් භාවිත කොට තිබුණි.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය දේශපාලනිකව කියවා ගැනීම අතිශයින් වැදගත් වනු ඇත. එය අතීතය අමතකව සිදු කළ යුත්තක් නොවේ. වර්තමාන ආණ්ඩුව බලයට පත්වන විට පැවති සමාජ දේශපාලනික තත්ත්වය සහ ඔවුන් බලය ලබා ගැනීමෙන් අනතුරුව ගෙවුණු මාස හතකට ආසන්න කාලය තුළ ඇති වූ සමාජ පරිවර්තනයේ තත්ත්වයන් පිළිබඳව අවබෝධයෙන් යුතුව ප්‍රතිඵල කියවා ගැනීම අතිශයින් වැදගත් වනු ඇත.

බහු පක්ෂ දේශපාලන ක්‍රමයේ ඇති මැතිවරණ ක්‍රමවේදය වන්නේ මැතිවරණයකදී භාවිත කරන ලද ඡන්දවලින් බහුතර බලය හිමි කරගත් තැනැත්තා ජයග්‍රාහකයා බවට පත්වීමයි. ආණ්ඩු පක්ෂය නිර්මාණය වනුයේ එමඟිනි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය එයයි.

විපක්‍ෂය නිර්මාණය වනුයේ ආණ්ඩු පක්ෂයට පසුව වැඩි බලය හිමිකර ගන්නා දේශපාලන පක්ෂයට ය. ආණ්ඩු පක්ෂයේ නියෝජනය නොකරන තවත් කුඩා කුඩා කණ්ඩායම් හා පක්ෂ ද විපක්ෂයට අයත් වන අතර ඔවුන්ට කැමති නම් විපක්ෂ නායකයාට සහයෝගය දිය හැකිය.

නමුත් මෙවර මැතිවරණයේදී ප්‍රතිඵල කියවා ගැනීමේදී අපූරු දේශපාලනික විග්‍රහයන් දැකගැනීමට ලැබුණි. ඔවුනට අනුව මැතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ රටේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජාතික ජන බලවේගය හා අනෙකුත් පක්ෂ ලෙස කණ්ඩායම් දෙකකි.

මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණයේදී ඔවුන් ගණන් බලා තිබුණේ ජාතික ජන බලවේගය ලබාගත් ආසන සංඛ්‍යාව හා එම සභාවේ සෙසු දේශපාලන පක්ෂ ලබාගත් සභික ධුරවල එකතුව කොපමණ ද යන්නයි. එම එකතුව ජාතික ජන බලවේගය ආසන සංඛ්‍යාවට වඩා වැඩි නම් පොදු විපක්ෂය සභාවේ බලය පිහිටුවන බවට ඔවුහු පාරම්බෑහ.

එලෙසට ඒකාබද්ධ විපක්ෂයක් යනු පක්ෂ සමූහයකින් යුතු එකතුවකි. එය එක්තරා අන්දමක සර්ව ලෝක පූට්ටුවකට සමාන ය. විපක්ෂය උත්සාහ කරන්නේ එවැනි සර්ව ලෝක පූට්ටුවක් අටවා ගැනීම මඟින් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා ගැනීමට ය.

වඩාත් හාස්‍යජනක කාරණය නම් විවිධ දේශපාලනික ප්‍රතිවිරෝධතා ඇති දේශපාලන පක්ෂ කල්ලි කණ්ඩායම් හා තවත් අවශේෂ සුන්බුන් එකතු වී තනි කණ්ඩායමක් බවට පත්වීමයි. එහි සරල දේශපාලනික අර්ථය එවැනි සර්ව ලෝක පූට්ටුවක එකතුවකින් හෝ ජාතික ජන බලවේග ආණ්ඩුවට අභියෝග කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වීමයි.

රටක නීරෝගි දේශපාලනික ප්‍රජාතන්ත්‍රවාදයක් පැවතීමට නම් ශක්තිමත් විපක්ෂයක් පැවතිය යුතුය. ඒත් දැනට අපට ඇත්තේ එවැනි ශක්තිමත් විපක්ෂයක් නොව සර්ව ලෝක පූට්ටු විපක්ෂයකි. එනම් එහෙන් මෙහෙන් කෑලි අටවාගත් ප්‍රතිවිරෝධතා රැසකින් යුතු විපක්ෂයකි. එවැනි විපක්ෂයක ඇත්තේ ස්ථාවරභාවයට වඩා බිඳී වෙන් වී යෑමට ඇති ඉඩකඩකි.

එම නිසා මෙම මැතිවරණයේදී එවැනි සර්ව ලෝක පූට්ටු විසින් අටවා ගන්නා ලද සන්ධාන හෝ කල්ලි විසින් පළාත් පාලන ආයතනවල බලය ලබා ගත්ත ද එය එතරම් වැදගත් සාධකයක් ලෙස සැලකිය නොහැකිය. එවැනි එකතුවක ඇත්තේ අස්ථාවරත්වය පමණක් වීම ඊට හේතුවයි.

පොදු ජනතාව සමඟ කරන සමාජ දේශපාලනික කටයුත්තකදී ඉතා වැදගත්ම කාරණය නම් පොදු ජන මනස හඳුනා ගැනීමයි. එය පාක්ෂික මනෝභාවයෙන් ඔබ්බට ගොස් සිදු කළ යුතු කාරණයකි.

පාක්ෂිකයා තුළ ඇති භක්තිමත් හැඟීම පොදු සමාජයේ සාමාන්‍ය ඡන්ද දායකයා තුළ දැකිය හැකි නොවේ. ඔවුනගේ මනස ඉතා සරල අතිශය පෞද්ගලික කාරණයකින් බිඳවැටිය හැකිය. පොදු කාරණයකට වඩා තමාට සිදුවූ අසාධාරණයකින් ජන මනස චලනය විය හැකිය.

බලයට පත්වන ආණ්ඩුවක ජනතා ප්‍රසාදය එලෙසින්ම තබා ගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් වනුයේ ඒ හේතුවෙනි. ජන අභිලාෂ මුල්කොට ගොඩනැඟූ ආණ්ඩුවකින් ඔවුහු හැදූ ආණ්ඩුව සහ හැදුණු  ආණ්ඩුව පිළිබඳ සංසන්දනය කිරීම සරල කාරණයකි. පොදු ජනතාවගේ එකී මනෝභාවය තේරුම් ගැනීම ආණ්ඩුවට මෙන්ම විපක්ෂයට ද අතිශයින් වැදගත් වනු ඇත.

මෙවර මැතිවරණයේදී විපක්ෂය ස්වකීය ප්‍රතිපත්ති හා දර්ශනයන් සමාජගත කරනවා වෙනුවට සිදු කළේ ආණ්ඩුව බොරු කීවා යැයි ප්‍රකාශ කිරීම පමණකි. පළාත් පාලන ආයතනයක් රටේ සංවර්ධනයේ දිශාවට රැගෙන යන වැඩපිළිවෙළ හෝ ක්‍රමවේදය සාකච්ඡා කිරීමට උනන්දු වන බවක් දැකගත නොහැකි විය. එකී දේශපාලනික දුප්පත්භාවය මෙවර ප්‍රතිඵලවලින් ඔවුනට පෙන්වා දී තිබේ.

කවර තත්ත්වයක් යටතේ වුව ද දූෂණයෙන් සහ හොරකමෙන් තොර මහජන නියෝජිත පිරිසක් සිටින බව ගෙවුණු කාලසීමාවේදී අපට ඔප්පු කොටදී තිබේ. ජනතා ධනයෙන් සුර සැප විඳින, ජනතාව සූරා කන හා පීඩාවට පත් කරන ප්‍රභූ තාන්ත්‍රික දේශපාලනය හමාර කොට තිබේ. දූෂණ වංචා අක්‍රමිකතාවල නිරත වූවන්ට දඬුවම් දීම ආරම්භ කොට තිබේ.

මැතිවරණ ප්‍රතිඵලවල සංඛ්‍යාත්මක එකතුව කියවා බලා සරල ලෝක පූට්ටු විපක්ෂයේ ඇතැම් අය සතුටු වන බවක් දැකගත හැකිය. ඔවුනට කීමට ඇත්තේ එකම එක කාරණයක් පමණකි.

පාසලක පන්තියක පැවැත්වෙන විභාගයකින් වැඩිම ලකුණු ලබාගන්නා සිසුවා හෝ සිසුවිය පන්තියේ පළමු ස්ථානය දිනාගැනීම සාමාන්‍ය සිරිතයි. නමුත් පන්තියේ සෙසු සිසුන්ගේ ලකුණු සියල්ල එකතු කොට එය පන්තියේ පළමු වැනියා අබිබවා ගිය ලකුණුවල එකතුවක් යැයි කීම අදේශපාලනික කාරණයකි. විපක්ෂයේ ඇති තාවකාලික සංතෘප්තිය නිර්මාණය වී ඇත්තේ එවැනි ආකාරයකට ය.

මැතිවරණයකදී රටක සියලු ආයතන හෝ සභා දිනා ගැනීමට හැකි පක්ෂයක් හෝ කණ්ඩායමක් නොමැත. ඒ අවස්ථානුකූල හා කාලානුරූපී සාධකයකි.

විවිධ ජාතීන් ආගම් හා ජනවර්ග නියෝජනය කරන ඡන්ද දායක ප්‍රජාවගේ දැනුම හා ආකල්ප බුද්ධිය ද එකිනෙකින් වෙනස් ය. ඡන්ද ප්‍රතිඵලවලින් නිරූපණය වන්නේ එම දේශපාලනික සාධකයයි.

එම නිසා මෙම මැතිවරණ ප්‍රතිඵලවලින් ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය ද තේරුම් ගත යුතු කාරණය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනික ක්‍රියාවලියකදී පාක්ෂිකයා හා ඡන්ද දායකයා අතර වෙනස හඳුනා ගැනීම අතිශයින් වැදගත් වන බවයි. පාක්ෂිකයා කරුණු අවබෝධ කරගන්නා තරම් වේගයෙන් ඡන්ද දායකයා කරුණු අවබෝධ කරගන්නේ නැත.

ජනපතිවරණයේදී ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලද ස්වකීය වැඩපිළිවෙළේ තේමා පාඨය වූයේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන්නයි. එය තවදුරටත් ප්‍රායෝගිකකරණය කිරීමට පළාත් පාලන ආයතනවල මැතිවරණ ප්‍රතිඵලවලින් යළිත් සහතිකයක් ලබා දී තිබේ.

මෙම මැතිවරණ ප්‍රතිඵලවලින් ආණ්ඩුවට මෙන්ම විපක්ෂයට ද උද්දාමයට පත්වීමට විවිධ කරුණු කාරණා ඇති බව අපි ඉතා හොඳින් දනිමු. එම නිසා ප්‍රතිඵලවලින් උද්දාමයට පත්වීමට පෙර එම ප්‍රතිඵල වඩා හොඳින් කියවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වනු ඇත.

ප්‍රතිඵල විග්‍රහය හා විශ්ලේෂණය කළ යුතු වන්නේ මතුපිට සරල අර්ථයෙන් නොව ගැඹුරු දේශපාලනික අර්ථයෙනි.

මන්ද යත් ජන මනස සංචලනය වීමේ දේශපාලනික ප්‍රවණතාව හොඳින් අවබෝධ කොට ගැනීමට ආසන්න මැතිවරණ තුනෙහි  ප්‍රතිඵල දේශපාලනික කියවා ගැනීම අතිශයින් වැදගත් වනු ඇති හෙයිනි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT