20 වැනි සියවස අග ශ්‍රී ලාංකේය දේශපාලන, සමාජ, ආර්ථික පීඩනයට එරෙහි තරුණ නැඟී සිටීම සහ දශක දෙකහමාරක් පුරා රාජ්‍ය ප්රචණ්ඩත්වය විසින් ඒ අරගලය
භීෂණකාරී ලෙස මර්දනය කිරීමේ මතකයන් අතරට එබී බලන්නට
ගාමිණී මුතුකුමාරණ සොයුරාගේ “නොනිමි අරගලයක මතක ගිනි පුපුරු” අපට
දේශපාලන කවුළුවක් විවර කර ඇත. මේ ලියවිල්ල ඒ වෙනුවෙනි.
ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භය එහි වර්ධනය 1971 පිබිදීම හා මර්දනය 1977න් පසු පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම 1983 පක්ෂ තහනම සමඟ රහසිගත දේශපාලනය 1987 – 1993 දක්වා පක්ෂ ක්‍රියාකාරකම් සහ රාජ්‍ය මර්දනය පිළිබඳ මතකයන් ගාමිණී අප හමුවේ තබනුයේ තමාද අයත් වූ දේශපාලන ව්‍යාපාරයක කැපකිරීම් අපේක්ෂාවන් ජයග්රහණයන් මෙන්ම යම් යම් දුබලතා හා පරාජයන් කෙරෙහි බලපෑ හේතු සාධකද ස්වයං විවේචනාත්මකව ගෙනහැර පාමිනි.
ගාමිණී කෘතිය ආරම්භයෙහිම, ජනතා විමුක්ති පෙරමුණ ආරම්භක අවධියේ පක්ෂය සමඟ සමීප සබඳතා පැවැත්වූ, දකුණේ වීරවිල ග්‍රාමයෙහි දිවි ගෙවූ වාමාංශිකයක වූ චාල්ස් විදානගේ, 1971 අරගලය පරාජයේ හමුවේ කළ ප්‍රකාශය, උපුටා දක්වනුයේ අරගලය අසාර්ථක වීම කෙරෙහි බලපෑ සුවිශේෂී සාධකයන් සංවාදයට ලක් කරමිනි.
අධිරාජ්‍යවාදී පාලකයන්ගේ අතකොළු වූ පාලක පන්තිය සමඟ හිතවාදීව ක්‍රියා කළ, මෙරට සම්ප්‍රදායික වාම ව්‍යාපාරයට විකල්ප වාමාංශික ව්‍යාපාරයක් ගොඩනැංවීම 1970 උදාව සමඟ ශ්‍රී ලාංකීය උගත් තරුණ පරපුරක අපේක්ෂාවක් විය. දශක ගණනාවක් මෙරට සමඟ සමාජ හා කොමියුනිස්ට් පක්ෂ නායකයන්, පවතින ධනේශ්වර ආණ්ඩුව සමඟ සන්ධානගත වීම, මහජනයාගේ සැබෑ පීඩනයට එරෙහිව ක්‍රියා නොකිරීම, මාක්ස්වාදී න්‍යායන් පිළිබඳ හැදෑරීමක සිටි රෝහණ විජේවීර ඇතුළු තරුණ බුද්ධිමතුන්ගේ දැඩි විවේචනයට ලක් වේ.
1967 අග බිහිවන ජනතා විමුක්ති පෙරමුණ වඩා රැඩිකල් අයුරින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථික සමාජ පීඩනය පිළිබඳ දක්ෂිණාංශික ආණ්ඩුවට දැනෙන ආකාරයේ බලපෑමක් කිරීමට මුල පුරයි. ආරම්භක අවධියේ මෙම පෙරමුණ වටා ඒකරාශී වනුයේ සරසවි සිසුන්, තරුණ බුද්ධිමතුන් හා ග්‍රාමීය පීඩිත ජන කොටස් ය.
1970 මහමැතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක ප්රමුඛ සමගි පෙරමුණ තුනෙන් දෙකක බලයක් හිමි කරගෙන බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ගැති පාලන ප්‍රතිපත්තිය ඉදිරියටත් පවත්වාගෙන යාම පිළිබඳව මෙම නව වාම තරුණ බලවේගය අප්‍රසාදය ප්‍රකාශ කරයි.
එයට එරෙහි ජනතා විමුක්ති පෙරමුණෙහි පළමු නැඟිටීම 1971දී අතිශයින් දරුණු ලෙස මර්දනය කරමින් නායකයන් සිර කරමින් අවසන් වීමේ කතාවෙන් බිඳක් ගාමිණී සටහන් කරනුයේ ඒ අසාර්ථකත්වය කෙරෙහි බලපෑ හේතු සාධක ද සමඟිනි.
සිය ළදරු වාම ව්‍යාපාරය කෙරෙහි නායකත්වයන් තුළ වූ අධි තක්සේරුව, පක්ෂයට නිසි ජනතා පදනමක් නොතිබීම, වාමාංශික දේශපාලනය පිළිබඳ පුළුල් අවබෝධයක් බහුතර සාමාජිකයන්ට නොතිබීම, දේශපාලන හා න්‍යායාත්මක ක්‍රියාමාර්ග පිළිබඳ දැනුම්වත් කිරීමේ විධිමත් අධ්‍යාපනික වැඩපිළිවෙළක් නොතිබීම, ඒ සඳහා කාලයක් සහ දේශපාලන සමාජ අවකාශයක් පක්ෂයට නොතිබීම, සන්නිවේදන දුෂ්කරතා හා දුබලතා වැනි සාධක මැද නිසි සංවිධානාත්මක ශක්තියකින් සන්නද්ධ නොවී ඉතා ළදරු මට්ටමකින් ගොඩනැඟෙමින් තිබූ වාම දේශපාලන ව්‍යාපාරයක් මර්දනකාරී රාජ්‍ය යන්ත්‍රණයත් සමඟ ගැටෙමින් සිය බලය අත්පත් කර ගැනීමේ හුදු සිහිනය ක්‍රියාවට නැංවීමේ අසාර්ථකත්වය මෙහි සාකච්ඡාවට ගනු ලබයි.
එම සිහිනය අද්දර ඝාතනයට ලක් කරනු ලැබූ සොයුරු සොයුරියන් පිළිබඳ ඉතාමත් අනුවේදනීය මතකයන් මෙම කෘතියෙහි දල්වයි. රාජ්‍යයට එරෙහි මෙම නැඟී සිටීම පිළිබඳව විමර්ශනය කළ Òඅපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවÓ හමුවේ ජනතා විමුක්ති පෙරමුණ නායකයන් ආණ්ඩුවට එරෙහි වීම සාධාරණීකරණය කරන අතර දීර්ඝ නඩු විභාගයකින් පසු අපරාධ යුක්තිය විනිශ්චය කොමිෂන් සභාව විසින් 1974 දෙසැම්බර් 20 වැනි දින පක්ෂ නායක රෝහණ විජේවීර හට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරයි.
නායකයන් සිරකරමින්, බොහෝ සාමාජිකයන් ඝාතනය කරමින් ජනතා විමුක්ති පෙරමුණ පූර්ණ මර්දනයකට ලක් කරන ලදැයි පාලකයන් තුළ වූ විශ්වාසය සුනු විසුනු කරමින් හිර ගෙවල් තුළින් වඩා ශක්තිමත්ව දේශපාලන පන්නරයක් ලැබ ගත් තරුණ කණ්ඩායමක්, 1977න් පසු යළි සක්‍රියව, දේශපාලනිකව පිබිදීම පිළිබඳ මතක ගිනි පුපුරු දීර්ඝ සැරිසැරීමක් කරයි.
නැවත පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමත් සමඟ 1983 දී තහනමට ලක් කිරීම හමුවේ රහසිගතව සැඟවෙමින් දශකයකට ආසන්න කලක් දේශපාලන ක්‍රියාවලියක නිරත වීමට ජනතා විමුක්ති පෙරමුණට සිදුවේ. ලාංකික පීඩිත පන්තියේ මර්දනයට එරෙහිව අති බිහිසුණු රාජ්‍ය මර්දනයකට මුහුණ දෙමින් විටෙක වනාන්තර තුළ දිවි ගෙවමින් ජීවිත පරිත්‍යාගයෙන් කැප වූ දස දහස් තාරුණ්‍යක නොපසුබට අධිෂ්ඨානය මතක ගිනි පුපුරු ගිනි දල්වා විහිදයි. මරණ ද්වාරය අබියස දරා ගත නොහැකි කෲර වධ හිංසයන්ට ලක්වන සහෝදර සහෝදරියන් පිළිබඳ මතකයන් මෙහි පිරී ඇත.
අතිශයින් සැලසුම්සහගත සන්නද්ධ මර්දන ක්‍රියාවලියක් තුළ හිඳිමින් දශකයකට අධික කාලයක් එම ම්ලේච්ඡත්වයට අභියෝග කළ උදාර සහෝදරත්වයක කතාව ගාමිණී මතකයට කැඳවයි. මෙහිලා සුවිශේෂි කාර්යභාරයක් ඉටු කළ ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය හා එහි නායකයන් අරගලයට දායක වූ සහෝදරයන් හා 1971 සිට ජනතා විමුක්ති පෙරමුණට ශක්තියක් වූ පක්ෂ සාමාජික සාමාජිකාවන් පිළිබඳව ද මඟ නොහැර මතක සටහන් තබන්නට ගාමිණී ගත් උත්සාහය ප්‍රශංසනීයයි.
එවක රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වූ රංජන් විජයරත්න ඝාතනය සඳහා ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වූ සරසවි සිසුවියකු වූ ඉරේෂා පොල්ගම්පළ සහෝදරිය දරුණු වධ හිංසනයන්ට ලක් කරමින් ඝාතනය කිරීමේ සිදුවීම, 1970 දශකය ආරම්භයේ චිලියේ මිනීමරු පාලක ෆිනොචේ ඝාතනය කිරීමට තරුණියකගේ ද සහභාගීත්වයෙන් සැලසුම් කිරීම හා ඔවුන් කුරිරු ලෙස ඝාතනය කරන අයුරු පාදක කර ගත් සිනමා පටයක් සිහිපත් කරයි.
ඉරේෂා සොයුරිය ඇතුළුව එම සැලසුම ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වූ සෙසු සහෝදරයන් රඳවා ප්‍රශ්න කරමින් තමා ඝාතනය කරන්නට සැලසුම් කළේ මන්දැයි ආරක්ෂක අමාත්‍ය රංජන් නඟන පැනයට ඔවුන් පිළිතුරු සපයනුයේ Òඔබ මරන්නට අපට ශුද්ධ වූ අයිතියක් තිබෙනවා.Ó යනුවෙනි.
ජනතා විමුක්ති පෙරමුණ මර්දනයට රාජ්‍යයට සහයෝගය දැක්වූ පක්ෂයෙන් ඉවත් වූ සාමාජිකයන් පිළිබඳවත් සෙසු දේශපාලන පාර්ශ්ව පිළිබඳවත් Òමතක ගිනි ගිනිපුරුÓ සටහන් කරනුයේ මොවුන් සමඟ තිබූ අර්බුදයන් සමනය කර ගැනීමට පක්ෂය අසමත් වීම, ඒ සඳහා දේශපාලනික සංවාදයන් නොතිබීම හා ප්‍රතිවාදියාට එරෙහිව ප්රචණ්ඩත්වය භාවිත කිරීම යන ගැටලු ස්වයං විවේචනාත්මකව ඉදිරිපත් කිරීමත් සමඟිනි.
එසේම පක්ෂයේ සන්නද්ධ අංශය නිසි දේශපාලන දැක්මකින් හා සන්නිවේදනයකින් තොරව සිදු කළ ඇතැම් ක්‍රියාවන් හා පක්ෂ තහනම හමුවේ දේශපාලන අංශය හා සන්නද්ධ අංශය අතර අන්තර් සන්නිවේදනය බෙහෙවින් දුර්වල වීම හා ඇතැම් දුෂ්කරතා හමුවේ සපුරා බිඳ වැටීම හා අවසානයේ තරුණ සන්නද්ධ කණ්ඩායම් පාලනය දුෂ්කර වීම හා අවසානයේ ඔවුන් අතින් සිදු කළ ඇතැම් ඝාතන හා හිංසාවන් නිසා අප්‍රසාදයට හා බියට පත් සාමාන්‍ය ජනයා පක්ෂය කෙරෙහි කලකිරීම හේතුවෙන් ජනතා සහයෝගය දිනා ගැනීම අපහසුවීමත්, අතරමැදි සතුරු පාර්ශ්වයන් රාජ්‍ය මර්දනයට ඍජුව සහාය වීමත් මෙහිලා සංවාද කරනුයේ ජනතාව උදෙසා කරන අරගලයකදී ජනතාවගේ ආදරය විශ්වාසය හා සහයෝගී බව, සහභාගිත්වය විප්ලවකාරී ව්‍යාපාරයක අත්‍යවශ්‍ය පදනම් බව අවධාරණය කරමිනි.
පක්ෂය හැර ගිය සහ වධ හිංසන හමුවේ ඇතැම් පක්ෂ සාමාජිකයන් කළ පාවාදීම් මෙන්ම මරණීය වධ හිංසාවන් තුළ පවා සිය ප්රතිපත්තීන් අධිෂ්ඨානශීලි ලෙස රකිමින්, පක්ෂයේ දේශපාලන රහස් කඳු සඟවමින්, මියගිය සොයුරු සොයුරියන් අප්‍රමාණ සංවේදීත්වයකින් මෙහිලා ස්මරණය කරනු ලබයි. පරාජය අබියස සහ මරණය අබියස පවා තමා අරමුණු අත් නොහැර ආලෝකවත්ව දල්වනු ලැබූ මානුෂිකත්වය, පරිත්‍යාගය පිළිබඳව අප්‍රමාණ සිතා බැලීමකට හැදෑරීමකට Òමතක ගිනි පුපුරුÓ අවකාශ සලසයි.
පීඩිත ජනයාගේ ශ්‍රමයෙන් ලෙයින් කඳුළින් ධනේශ්වර දේශපාලන ආර්ථික බල කඳවුරකට එරෙහි අරගලයක ශක්තීන් හා ඛේදනීය මතකයන් අතර ගාමිණී දල්වාලන මතකයේ ගිනි පුපුරු, නිවැරදි වාමාංශික දෘෂ්ටියක් මත පදනම්ව ශක්තිමත්ව යළි අරගලයේ මාවතට ප්‍රවේශ වීමේ සිහිනය පුබුදුවාලයි.
එසේම එකම රාජ්‍යයක පීඩනයට එරෙහි වූ ලාංකීය දමිළ දේශපාලන විමුක්ති අරගලය සමඟ බද්ධවීමට නොහැකි වීමේ අර්බුදයද මෙහිලා යම් ආකාරයකින් ඉස්මතු කරයි. පක්ෂයෙහි බහුතරයක් සාමාජිකයන් තුළ වූ සංස්කෘතික පසුගාමී දෘෂ්ටීන්, නායකත්වයෙහි ඇතැම් නිවැරදි නොවූ තීන්දු හා යම් දුබලතා න්‍යායාත්මක අර්බුද, ව්‍යාපාරයෙහි දේශපාලන අවවර්ධිත පසුබිම් පිළිබඳ හා ඇතැම් භාවිතාවන් හා චර්යාත්මකව වූ අගතීන් පිළිබඳ ගැඹුරු සංවාදයකට ඉඟි සපයන Òමතක ගිනි පුපුරුÓ, නව දේශපාලන විමුක්ති අරගලයකට, ගැඹුරු අධ්‍යයන ප්‍රවේශයක් විවර කරයි.
පූර්ව ලියන්නෙකු නොවී ගාමිණී මුතුකුමාරණ ලියමන් කළ Òනොනිමි අරගලයක මතක ගිනි පුපුරුÓ සරල සිත් ගන්නා බසකින් කළ අපූරු ස්වයං මතක ආවර්ජනයකි. එය ඔබේද මගේද හදවත ගැඹුරින් ස්පර්ශ කරමින් සිවිල් සමාජ දේශපාලනය බිඳ වැටුණු බිහිසුණු පසුතලයක මරණීය නිමේෂයන් සමඟ අපව බද්ධ කරමින් එම කෲරත්වයෙන් මිදී මනුෂ්‍යයන් ලෙස නිදහස් හා සමාන අයිතිවාසිකම් භුක්ති විඳිය හැකි ලොවක් ගොඩනංවන්න අපට නිහඬවම ආරාධනා කරයි.
තිලිනා වීරසිංහ