එක අතෙකින් සාමයට ළැදි නායකයකු වූ අන්වර් සදාත් හෙවත් නසාර් තව අතෙකින් මාක්ස්වාදියෙකි. අරාබි ලෝකය හා ඊශ්‍රායලය අතර පවත්නා සදාකාලික වෛරය සමහන් කරන්නට අවංක ප්රයත්නයක යෙදුණු ඔහු මෝසේ දයාන් ඉදිරියේ යුද්ධයෙන් පැරදුණේය. නායකත්වයෙන් ඉල්ලා අස්වුණේය. එහෙත් ජනතාව ඔහුට ඉල්ලා අස්වන්නට ඉඩ දුන්නේ නැත. ජනතාව වීදි බැස නසාර් ඉල්ලා සිටියෝය. නසාර්ට සිය ඉල්ලා අස්වීමේ ලිපිය ආපසු භාරගන්නට සිදු විය.
බේකන් සාමිවරයා සඳහන් කරන පරිදි මිනිසා පරිපූර්ණ තත්ත්වයට පත්වන්නේ පොත් කියැවීම නිසා ය. මේ වනාහී පරණ කියමනකි. අපේම වචනවලින් කිවහොත් පට්ට ගැසූ පාඨයකි. පසුකලෙක ඒ වෙනුවට අලුත් පාඨයක් ප්‍රචලිත විය. ඒ ‘දැනුම ප්රාග්ධනය වේ’ යන්නය. එම පාඨයෙන් කියැවීම ඉස්මතු වන්නේ නැත. පොත් කියැවීමට අමතරව දැනුම හා තොරතුරු දැන ගැනීම සඳහා තවත් උපායමාර්ග ඇති නිසා යැයි සිතන්නට පුළුවන. කුමක් වුව පොත් කියැවීම අවලංගු වී නැත. අවලංගු වන්නේ ද නැත. විවිධ හේතු මත පොත් කියවනු ලැබේ.
මිනිසා පොත් කියවන්නේ ඇයි? පොත් කියැවීමේ ප්‍රතිඵලය කුමක් ද? මිනිසා කුමන විලාසයකින් පොත් කියවන්නේ ද? යනු අපූරු ප්‍රශ්න කිහිපයකි. මේ සඳහා ලැබෙන පොදු උත්තර කිහිපයක් සඳහන් කළ හැකිය. (Why we read; what we read?)
- දැනුම වර්ධනයට හා තොරතුරු සම්පාදනයට තෝරාගත් පොත් කියැවීම (Book Reading)
රේමන් විලියම් බේකර්
- කාලය මිඩංගු කිරීම හා පුරුද්දක් පවත්වාගෙන යෑම සඳහා පොත් කියැවීම (Just Reading)
III. විභාග සමත්වීම හා ස්වකීය පාණ්ඩිත්‍යය උදෙසා පොත් කියැවීම නැතහොත් පොත් අධ්‍යයනය (Analytical Reading)
- වර්තමාන ගැටලු වටහා ගැනීම සඳහා අතීතය හැදෑරීම විලාසයක් කරගෙන තෝරාගත් පොත් හැදෑරීම (Reading for Delieacy)
අද අපගේ විමැසුමට ලක්වන්නේ මෙයින් හතරවන විලාසයට අයත් කෘතියකි. මෙබඳු කෘති බහුල වශයෙන් භාවිත වන්නේ, විවිධ විෂයයන් පිළිබඳ උනන්දුවක් දක්වන බහුශ්‍රැතභාවයට නැඹුරු පාඨකයන් අතර යැයි කිව හැකිය. කෘතිය අන්වර් සදාත් හා ඊජිප්තුවේ දේශපාලනය ගැනය. එය “සදාත් ඇන්ඩ් ආෆ්ටර්” ලෙසින් හඳුන්වා ඇත. (Sadat and After) කතුවරයා රේමන්ඩ් විලියම් බාකීර්ය. (Regmond William Bakir) මේ කතුවරයා මැදපෙරදිග දේශපාලන කටයුතු පිළිබඳ විචාරකයකු බව ද අරාබි ජාතිකයන්ගේ ඉතිහාසය හා ශිෂ්ටාචාරය පිළිබඳ ගවේෂකයකු ලෙස ද ප්රකටය.
ඉහත සඳහන් කෘතිය අදට වැදගත් වන්නේ මන්දැ’යි පළමුව සඳහන් කළ යුතුය. ඊට අදාළ සාධක කිහිපයක් සංක්ෂිප්තව දැක්විය හැකිය
- පලස්තීන ගැටලුව
එය ලෝකයේ පැරැණිම දේශපාලන තුවාලය ලෙසින් හැඳින් වේ.
- අරාබි සංස්කෘතිය, ඉස්ලාම් ආගම හා අරාබි රටවල දේශපාලනය ලෝක මට්ටමින් සංවාදයට ලක්වීම (එය මේ වනවිට ලෝකයේ ප්‍රධාන මාතෘකාවක් වී ඇත.)
III. ලෝක බලවතා වූ අමෙරිකාව ඊශ්‍රායලය ඔස්සේ අරාබි රටවලට කරන බලපෑම දිනපතා ලෝක සංවාදයට ලක් වෙයි.
- අරාබි රටවල ප්‍රමුඛයා ලෙසින් ඊජිප්තුවට වැඩි සැලකිල්ලක් ඇත. අන්වර් සදාත් ඊජිප්තුව ගොඩනැඟීමට මූලික වූ හොඳම නායකයා ලෙස සඳහන් කළ යුතුය.
අන්වර් සදාත් යනු නූතන ඊජිප්තුව ගොඩනැගීමට මූලික වූ ශක්තිමත් නායකත්වය ලෙස හැඳින්වීමෙහි කිසිදු වරදක් නැත. ඔහු සාමයේ මැදිහත්කරුවකු හැටියට ද, වාම දේශපාලනය නියෝජනය කළ තැනැත්තකු හැටියට ද, මාක්ස්වාදියකු හැටියට ද හඳුන්වන අය සිටිති. ඒ සෑම හැඳින්වීමකටම හේතු සාධක පවතී. අන්වර් සදාත්ට සුවිශාල ජන ප්‍රසාදයක් හිමි වී තිබිණි. එලෙසම ඔහු අවංක නායකයෙකි. 1967 අරාබි ඊශ්‍රායල් යුද්ධයේදී ඊජිප්තුව අන්ත පරාජයකට ලක් වූ අතර බරපතළ විනාශයකට ද මුහුණ දුන්නේය. එවකට මිසරය ලෙසින් හැඳින් වූ ඊජිප්තුවෙහි නායකයා අන්වර් සදාත්ය. ඔහු මේ පරාජය ගැන කෙතරම් කම්පාවට පත්වූයේද යත්; රටේ ජනතාවගෙන් සමාව යදිමින් සිය තනතුරෙන් ඉල්ලා අස්විය. එහෙත් ජනතාව ඊට විරුද්ධ වූහ. විථි බට ජනතාව ‘අනේ නසාර් අපිව තනි කරන්න එපා!’ යැයි කියමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන ගියහ. එහි ප්‍රතිඵලය වූයේ නසාර්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ආපසු භාර ගැනීමය. ඊජිප්තු ජනතාව පමණක් නොව සමස්ත අරාබි ලෝකයම නසාර්ට ගරු කළහ. නිදසුනක් දක්වතොත් ඉරාකයේ හිටපු ජනාධිපති පාලක සදාම් හුසේන් ගෞරව කළ එකම අරාබි නායකයා අන්වර් සදාත්ය. සදාම් හුසේන් වරක් කියා සිටියේ ඒ මගේ ගුරුතුමා යන්නය. 1981දී නසාර් ඝාතනයට ලක්වන අතර ඔහුගෙන් පසු ඊජිප්තුවට එබඳු ජනප්‍රිය නායකයකු හිමි වන්නේ නැත. හොඩ්න් මුබාරබ් වැනි නායකයෝ දීර්ඝ කාලයක් පාලනයේ රැඳී සිටිය ද ජනප්‍රිය නායකයෝ නොවෙති. සදාත්ගෙන් පසු ඊජිප්තු දේශපාලනයේ වෙනස්කම් ගණනාවක් ඇති විය. අවාසනාවකට මෙන් ඒ සියල්ලක් ම රටේ ඉදිරි ගමනට හා පොදු ජනතවගේ නිදහසට බාධාවක් ලෙස පැවැතිණි.
මේ කෘතිය පළවන්නේ අන්වර් සදාත්ගේ මරණයෙන් වසර නවයකට පසුවය. පොත කොටස් දෙකකින් යුතුය. පළමු කොටසට පරිච්ඡේද අටක් ඇතුළත්ය. ඊජිප්තුව නැවත ගොඩනැඟීම, අරාබි ශිෂ්ටාචාරය තහවුරු කිරීම, නිදහස උදෙසා සටන් වැදීම, නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම, ආර්ථිකය ශක්තිමත් කිරීම ඇතුළු වැදගත් ප්රශ්තෘත ගණනාවක් මේ පරිච්ඡේද අටෙන් සංවාදයට ගෙන ඇත. විද්වතුන්ගේ මත දැක්වීම් මෙන්ම රේමන්ඩ්ගේ ගවේෂණ හා පර්යේෂණවල ප්‍රතිඵල ද පොතෙහි සටහන් වෙයි. අටවන පරිච්ඡේදයෙන් මුස්ලිම් සහෝදරත්වයට ආමන්ත්‍රණය කරනු ලැබේ. එය අතිශය වැදගත් පරිච්ඡේදයකි.
අන්වර් සදාත් ඊජිප්තුවේ රාජ්‍ය නායකයා ලෙස ආමන්ත්‍රණය කළ ජාතික රැස්වීම් ගණනාවක තොරතුරුද එම පරිච්ඡේදයට අයත් ය. අන්වර් සදාත්ගේ දේශපාලන දෘෂ්ටිය හා ආර්ථික වැඩපිළිවෙළ හොඳින් වටහා ගැනීමට නම් එම පරිච්ඡේදය හැදෑරිය යුතුය. එතරම් විචක්ෂණශීලී ලෙස සදාත්ගේ දැක්ම විග්රහ කරන වෙනත් කෘතියක් අපට හමු වී නැත. බොහෝ දේශපාලන විචාරවලින් සිදුවන්නේ රාජ්‍ය නායකයන්ගේ කැරිස්මාව ඕනෑවටත් වඩා අතිශයෝක්තියෙන් හුවා දැක්වීම මිස ඔවුන්ගේ දර්ශනය කුමක්දැයි පැහැදිලි කරදීම නොවේ. මේ කර්තෘවරයා චරිත හුවාදැක්වීම ඔවුන්ගේ පෞරුෂය පිම්බීම වෙනුවට පුද්ගලයාගේ දැක්ම හා කැපවීම නිරූපණය කරන්නට උත්සුක වී ඇත.
පොතෙහි දෙවන කොටස ද වැදගත් පරිච්ඡේද දෙකකින් සමන්විතය. නවවන පරිච්ඡේදයෙන් තෙවන ලෝකයේ දේශපාලන බලපෑම් ගැන කතා කරයි. දහවන පරිච්ඡේදයෙන් දේශපාලන හා ආර්ථික අරගල ගැන උපකල්පනය කරයි. නවවන පරිච්ඡේදයේදී ඉස්ලාම් දැක්මට අනුව සැබෑ ආදර්ශවත් කාන්තාව කවරකුදැයි සංවාදයට ගෙන ඇත. මුස්ලිම් කාන්තාවගේ නිදහස හා ඇඳුම ගැන පවා කතුවරයාගේ අවධානය යොමු වී ඇත. මුස්ලිම් තරුණ සංවිධානවලට හා මූලධර්මවාදීන්ට ද මේ පොතෙන් බොහෝ දේවල් උගත හැකි ය. ඇෆ්ගනිස්තානයේ තලේබාන්වරුන් මේ කෘතිය අධ්‍යයනය කළ යුතු යැයි අපට සිතේ.
අරාබි රටවල ඒකාබද්ධතාව හා සමගිය ඔස්සේ ගෝලීය දේශපාලනයට හා ආර්ථිකයට සාධනීය බලපෑමක් කළ හැකි බව ද පලස්තීන ඊශ්‍රායල් අර්බුදය විසඳා ගැනීමට මූලෝපායික ක්‍රමවේදයක් නිර්මාණය කරගත හැකි බවත් පිළිගත් සත්‍යයකි. ඒ පමණක් නොව සිරියාවේ ලිබියාවේ බිඳවැටීම්, ජෝර්දානයේ හා ලෙබනනයේ ආර්ථික පසුබෑම පමණක් නොව; ඉරානයට බලපාන සම්බාධක පවා වෙනස් කරගත හැකි බවත් පිළිගත් සත්‍යයකි. මේ සඳහා ශක්තිමත් නායකත්වයක් ගොඩනඟාගත යුතුය. රේමන්ඩ්ගේ කෘතියෙන් ද ඒ බව සනාථ වෙයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලයත් සමඟ මැදපෙරදිග අවුල, ගාසා තීරයේ ගැටුම් මෙන්ම රුසියන් – යුක්රේන යුද්ධය ද නිමාවට පත්වනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කළහ. එබඳු පුරෝකථන ඉදිරිපත් වූ අතර ට්‍රම්ප් වසරේ මිනිසා ලෙස නම් කරනු ලැබීය. එහෙත් පුරෝකතන මහපොළොවේ යථාර්ථයක් බවට පත් වූයේ නැත. රුසියන් – යුක්රේන යුද්ධයට වසර තුනකි. සටන් විරාම හෝ සාම සාකච්ඡා හෝ අපේක්ෂිත අයුරින් ඉටුවන්නේ නැත. පලස්තීන ගැටුම වඩාත් සංකීර්ණ වී ඇත. ඒ හැරෙන්නට ගෝලීය වෙළෙඳ යුද්ධයක් ද ආරම්භ වී තිබේ. සමස්ත ලෝකයම පවතින්නේ අර්බුදකාරී තත්ත්වයක් මැදය. මේ සන්දර්භය තුළ විශ්වවිද්‍යාල පර්යේෂණ සඳහා අමෙරිකන් රජය ලබා දෙන ආධාර කපා හැරීමටත් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන ආධාර කපා හැරීමටත් ට්‍රම්ප් පියවර ගෙන තිබේ. පවත්නා සන්දර්භය තුළ බලයෙන් හීන රටවල් බලවත් අසීරුවකට පත්ව සිටිති. මෙබඳු අවාසනාවන්ත තත්ත්වයක් තුළ ලෝකය වටහා ගැනීම වඩාත් වැදගත් බුද්ධිමය කාර්යයක් සේ සැලකිය හැකිය. ඒ සඳහා මෙබඳු පොත් පරිශීලනය කළ යුතුය. අධ්‍යයනය කළ යුතුය.
රන්ජන් අමරරත්න