Thursday, May 8, 2025
Home » වසත් සුළඟ

වසත් සුළඟ

by Gayan Abeykoon
May 8, 2025 1:02 am 0 comment

ගඟ සහ ඉවුර

ගඟ නොදන්නා කතාවක්  ඇත
ඉවුර සුරැකිව තබාගෙන   හිත
සර නදින් ගඟ සෙලෙව්වත් වත
ඉවුර පෑ පෙම දකින්නේ  නැත

පිටාරය යන විටදි අන්ධව
ඉවුරු සිඳ බිඳ දමයි චණ්ඩව
නමුදු අමතක කරල රංඩුව
රකියි ගඟ යළි තබා තුරුලුව

ගඟට නම් කිසි වගක් නැතිවා
නොදුටු සයුරක අතක් පැතුවා
පෙමක පිවිතුරු රහස් සඟවා
ඉවුරු දෙකොපුල් හෙමින් හැඬුවා

එවන් ඉවුරක පුළිනතෙහි මා
මතක්වී නුඹ කවක් ලිව්වා

කාවින්දි නිසංසලා සමරකෝන්


කැමැති තැන පැළවෙයන් මුරුගා

හරිත පැහැ තේ යාය මැද්දක
රෝස පැහැයට මලුත් පිපුණා
වත්තකින් පිට ඉන්දවන්නට
ලෙච්චමී තේ කහට නෑවා

මහතැන්නෙ උන් අයිති කුසියට
හුඟක් හිත්වල එහෙම තිබුණා
නගර මැද්දක හෝටලේකම
ඉලන්දාරිගේ හීන ⁣බිඳුණා

පිපෙන්නට ඕනෑම රතු මල්
කටු නටුව පසු කරල තිබුණා
උරුම තැන පැළවෙන්නෙ කුමටද
කැමැති තැන පැළවෙයන් මුරුගා

කාවින්දි නිසංසලා සමරකෝන්


මිනීමරුවන් නොවෙද උන්

වෙර බැදුණු සරසවි මිනිස් කැල
රුදුරු අපහාසයෙන් ගිගුම් දී
වේදනා ගෙනදෙනා යුවතියන් පවා
මියෙන මොහොතේවත් වනසනා
සිත් නොතිබූ සුපසන් මිනිසෙකි
ආදර කන්ද පාමුල
මනරම් දිව්‍ය ලෝකය
හැඩිකරමින් රඟදුන්
ජාගර මිනිසුන්ට ගැහැනුන්ට
රජකාලේ දඬුවම් ය දිය යුතු
අපරාධයකි නින්දිත
මිනීමරුවන් නොවෙද උන්

පැතුම් බුද්ධික ලියනගේ


ඇසිල්ලක ප්‍රේමය

නුඹට ළං වී දුරක් යනවා
හරිම මිහිරෙන් නෙත ගැටී
දැනෙනවා එය ආදරය බව
හිතේ නොකිලිටි පෙම් කවි
තවම බිඳුවක වචනයක් නෑ
කතා කරලා ඔය හැටි
කොහේ හෝ නුඹ හමුවෙලා ඇති
සසර බැඳුමක මඟක දී

මඟුල් මුදුවක් නුඹේ අත මෙන්
මගෙත් දෑඟිලි බඳවලා
දෝරෙ ගලනා කිරිසිනාවන්
නුඹෙ පැලෙත් මට හැඟෙනවා
යසෝදර මෙන් නිබද මා ළඟ
සෙවණැල්ල ඇය සිටිනවා
සසර බැඳුමක් නෙතේ ගැටුණම
හිතේ විනිසුරු වඩිනවා

හිතක් ළඟ තව හිතක් නතරව
උපදිනා නව ප්‍රේමයක්
බොහෝ වුන් රහසේම වින්දා
වංකගිරියක තනිවෙමින්
නුරා හැඟුමින් මිදිය හැකි නම්
පෙමක ස්වර සිත නළවමින්
සහතිකේ නැතිමුත් එයත් එක
මෙත්පුරේ යන ප්‍රේමයක්

දිල්හානි දිල්රුක්ෂිකා


මට අහිමි ආදරේ

අයිතිය නැති මලක්
මොකට ඉඹිනවද
ඔහේ හිමිකෙනෙක් ඉඹපු දෙන්
සඳ අහස හරි මැද්දෙ
ඉඳන් ඔහේ තරු දහස් ගණන්
සනසවපු දෙන්
ගඟ ගලන තැනක
බැඳි ඉවුරු කුමට
හිමි තැනක ඉතිං
ඔහෙ ගලපු දෙන්
මට අහිමි ආදරේ
පපුව හරි මැද්දෙ
පරිස්සමට
ඔහෙ තිබුන දෙන්

සංජා කල්පනී ගුණවර්ධන


දිමියෙකුට ආදරෙයි

කළු පාට කඩියෙක්
ආස නොහිතෙන
දැඟලිල්ලක්
බැරි වෙලා හරි
විද්දොතින්
උහුලන්න බැරි
වේදනාවක්
බොහෝ කලක්
සුව නොවන කැළලක්

ඉතින් කඩි හාමිනේ
නුඹට වඩා
පිළිවැල දිගේ
එහෙට මෙහෙට
සීරුවට යන
ළා තැඹිලි පාට
අහිංසක දිමියෙකුට
මම ආදරෙයි

පවිත්‍රා සෙව්වන්දි


ආදරේ අතුරු ආබාධ

ආදරේ මාත්‍රා
අඩු වැඩිය වූ නිසා
වේදනා යාත්‍රා
පෙම් සයුරෙ පාවුණා

රාග මීවිත ලබා
පෙම් වදන් ගොළු වුණා
මතකයේ කළුවරට
පෙමින් ඇස් අඳ වුණා

ගයන කල විවාහය
බිහිරි අලියෙක් වෙලා
අලුත් පෙම් කතාවක
දුෂ්ට චරිතය වුණා

සුධර්මා සමරසේකර


ඔබ ඇවිත්

ඇවිත් දිගු කලකින්
ඔබ දකින්නට මාව
එදා සමුගත් තැනට
මම ආස සුදු රෝස
පොකුරක් ද අරගෙනම
පැමිණ ඔබ සිපගන්න
උණුසුමේ දැවටෙන්න
බොහෝ දේ කියවන්න
බැරිව මා ළතැවෙද්දී
තබා මල් පොකුර එහි
ඔබ ගිහින් නොකියාම

අමිතා පද්මකුමාරි


මලක් ඇවිදින්

වලාකුළකින්
හඳ වහන්නෑ
රිදෙන්නට හිත
ඉඩක් දෙන්නෑ

හමන සුළඟේ
ඔතා පණිවිඩ
එවනවා යැයි
කියලා කිව්වා

මලක් ඇවිදින්
එහෙම කිව්වා

ජගත් කලන්සූරිය


සොම්නස

දම් වැල් මැස්මක්ව’
හද ලේන්සුව මැද
සෙමින් මල් මැසේ..

හිනි තරු එළි තිත් දෑස්
ජනෙල් අතර
තෙමා වැටේ..

පැරණි කැසට් පටි
සොයා අවුස්සන
කුදු මිතුරියන් නො ඒ’

සමච්චල් කරන
කොණ්ඩා කුරුලු පාද
ඉබිගමනින් ඇදේ…

සැදෑ වලාකුළු මත
අඳුරු තේ ‘ සාද
සුළං ගුල්මෙක
පැටලේ…

සිහිනෙක
ඉගිළෙන්න
පියාපත් නැති
කුඩා මෙරුවෙක්
ගේ ‘ මිදුලක
ගැවසේ…

ඔබ ගයන ම’
ඒ මිහිරි
පිරිත් ගී පදය
දුර ඈතකින්
මට ඇසේ..!

ෂෙහානි ප්‍රනාන්දු


නැවතීමේ තිත

ඇළ ඉරක් ළඟදි තෝරා ගන්න නොහැකිවුණු
වරහනක් යෙදූ විට වැසී ගොස් ඉතිරි වුණු
කොමාවක් තැබූ තැන තිතක් වී නතර වුණු
හිස් තැනකි පේළියක උත්තරය අහිමි වුණු

මල්කා රත්නතුංග


පුතේ කියූ අප්පච්චී

ඔබේ කුසේ ඉපදෙන්නට නො හැකි වුණ
නිසා දුකයි තරමට හද දෙකඩ වන
මගේ හදේ දුක්ගිනිදැල් මැදට පැන
පුතේ කියූ අප්පච්චී ඔබ ම පණ

අසූපස් වසක් දිවිමංතලය දිගේ
දෙපා තැබූ ඔබ බෝසත් කෙනෙකු වගේ
හිනා මුවිනි දුන් ඔවදන්වලිනි මගේ
ලොවේ අඳුර දුරු කළේ ඉර මඬල වගේ.

අල්ලා අතින් අකුරට ගෙන ගිය දවස
නොමැකෙන සිතුවමකි හදවත කිසි දවස
පෙන්වූ මඟෙහි සරසවියට ගිය දවස
තුටුවුණ කෙනෙකු නැත දැක මා ඔබ විලස

ප්‍රියන්ත ජයලත්


කෙලෙසුණ වග ඇය

විසල් වූ මහ වනය
ගොරතර වූ මහ රැයෙක
කෝපයෙන් සෙලවුණා
ඇසී රුදු විලාපය

හෙට පිපෙන්නට උපන්
පුංචි මල් කැකුළියක්
තළා පොඩි කරනු දැක
විසිරුණා පිනි කඳුළු – ඇඹරුණා විසල් රුක්
වියරුවෙන්

ශාන්ත වූ වැව් ජලය
නිද්‍රා සිහිනයෙන් නැඟිට
නෙත් හෙළා බලන්නී – ශෝකයෙන්
ඇගේ ඇකයට වැටුණ
සුදු පුංචි මල් කැකුළ
ඇගෙ ළමැදට ගන්නී ඇය – ආදරයෙන්

කෝපවූ සැඩ චණ්ඩ මාරුතය
ගම්මැදින් හමන්නේ – වියරුවෙන්
පුංචි කැකුළෙ සුවඳ වඩන්
හැපෙන්නේ නිදන ගම් පියසිවල
පණිවිඩය කියන්නට – කලබලයෙන්

සාලිය ජයසේකර


එදා වාගේ නොවෙයි මහගෙයි

පරණ සුවඳක් අරන් ඇවිදින්
ආයෙමත් ආදරයෙන්
නිවන සිසිලයි කවදා කොහෙදිත්
මහගෙදර මතකයන්

දිරපු උළු වහු අතර පතරින්
බේරී එන වැහි ⁣බිංදුවක්
නිදපු හැටි තාම මතකයි
නැහැ එහි කිසිම රහසක්

කියපු රස කවි ගෙතු කතන්දර
අම්මගේ තුරුලේ නොනිද
දැකපු ඒ මහගෙයි අතීතයේ
පහන නිවිලා මතකයක්

සෑමදා නොවරදා සිංහල
අවුරුද්ද සැමරුව තාත්තා
නොවරදා මහ ගේම පාටින්
පාට කෙරුවේ තාත්තා

මෙදා දැලි බැඳි කුස්සි බිත්තියේ
හයිය කළුවර ගහට ගත්තා
එදා වාගේ නොවෙයි මහගෙයි
හුඟක් දේ නැතිවෙන්න ගත්තා

රවීනා අනුපමා


සදාකාලික

පා කරමු අපි
අපේ ප්‍රේමය
මළ මුහුදට
නොගිලී සදා
පවතින බවට
හිත හදාගෙන

මාලතී රූපිකා පුංචිහේවා


මැයි දිනය

අන් සන්තක කර
පැහැය සොරාගත්
කාලය නිමකර..
මල්වල පැහැය
නැවත මලට දෙන
මෙවර මැයි දිනය

ජගත් ප්‍රසන්න කුරුගම


මෙගා

සිඳු
රළ – රැළි
නිති
පෙරළෙයි

නව
රළ – රැළි
තව
උපදියි

ගිංතොට නන්දසිරි


සබඳ

මල් පිපෙද්දී මෙන්ම
පත් හැලෙද්දීත්
එක ලෙසම ගැවසි

අවාරෙත් ගයන
කුරුලු හදවතකි ඇවසි

ෂර්මිලා බංදුනී දංවත්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT