මේ කියන්නේ ගාල්ල නගර සීමාවේ පදිංචි කෙනෙක් ගැනයි.ඔහු, දිනපතාම වගේ සැරේට අඩියක් පුඩියක් ගහන හැට පැන්නත් බිම නොයන ජාතියේ කෙනෙකි. මෙදා සති අන්තයට හොඳ වයින් අඩියක් ගහන්න හිතාගත් ඔහු උදේම ගියේ තැබෑරුමටය. හෙමිහිට කාලේ බෝතලයක් ගත් ඔහු ගෙදරට ආවේ කටගැස්මක් හදාගන්න හිතාගෙනය. කටගැස්ම හදන්නත් කලියෙන්ම බෝතලේ හිස් වුණේ ඔහුටත් නොදැනීමය.
‘මේක හරි ගියේ නෑනේ. පදම මදි වගේ “තමන්ටම කියාගත් ඔහු ගමේ පැත්තේ සුපුරුදු තැනකට ගියේ තව ටිකක් ගොඩින් සප්පායම් වෙන්න හිතාගෙනයි.
පෝලිමත් ටිකක් දිගයි. හැබැයි වැඩි වෙලාවක් ගත වුණේ නෑ. බෝතලයක් පුරව ගත්ත ඔහු ආයිමත් අඩියට දෙකට ගෙදරට ආවේ ඒකෙන්වත් පදම පුරවාගන්න හිතාගෙනය.
‘අපෝ. මේකත් අද හරියට ඇල්වතුර වගේ. ගාණ වැඩිකරලා. ඒත් ප්රමිතිය බාලයි. මේක නිකං අතඅරින්න හොඳ නෑ. හිටපන්කෝ මං හොඳ වැඩක් කරන්න“කැලෑ පානෙන් කුල්මත් නොවුණු ඔහු තනියම තීරණයක් ගත්තේය. ළඟ තිබුණු සෙල්ෆෝනය අතට ගත් ඔහු ඇමතුවේ පොලිස් හදිසි ඇමතුම් ඒකකයටය.
‘‘හලෝ… මේ වන් වන් නයින් ද?“
‘‘ඔව්.පොලිස් හදිසි ඇමතුම් ඒකකය. මොකක්ද ප්රශ්නය මහත්තයා”
‘‘මම කතා කරන්නේ අහවලා… මගේ එඩ්රස් එක මේක… ‘‘ ඔහු මහ වැදගෙතක් ලෙස කීය.
‘ඔව් මහත්තයා මොකක්ද සිද්ධිය?“
‘සිද්ධිය තමයි මේ කියන්න යන්නේ. මේ හලෝ … මම අර අහවල් තැනින් බොන්න කසිප්පු බෝතලයක් ගත්තා. කට කපලා පුරවලා ගත්තේ. අනේ මහත්තයෝ කියන්න දෙයක් නෑ. කටේ තියන්න බැරි තරම් බාලයි. ඒත් මුං ගාණ වැඩි කරලා. වෙනදා වගේ සැර නෑ. බාල බඩු. ඇල්වතුර වගේ.. මුන්ට හොඳ පාඩමක් උගන්නන්න සර්. උන්ව අල්ලලා නඩු දාන්න සර්. කරුණාකරලා. අපිට බාල බඩු පොවනවට.”
‘හරි මහත්තයා.. මේක පැමිණිල්ලක් විදිහට ලියාගන්නද?”
‘‘ඔව්. මේක පැමිණිල්ලක් තමයි. සර් මේක ලියාගන්න. උන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ.”
පොලිස් හදිසි ඇමතුම් ඒකකය මේ සිද්ධිය වහාම දැනුම් දුන්නේ ගාල්ල පොලීසියටය.
දැන් විමර්ශනය කරන්නේ ගාල්ල පොලීසිය. මේ කියන තැනැත්තාට දැන් ගාල්ල පොලීසියෙන් තමයි දුරකතන ඇමතුම එන්නේ.‘‘සර්, මම ගාල්ල පොලීසියෙන්. බොහොම ස්තුතියි. ඔබතුමා දීපු තොරතුරට. අපි දැන්ම එනවා ඔබතුමා හමුවෙන්න. ඔබතුමා ගත් බෝතලේ තියෙනවාද?
‘‘ඔව් මහත්තයෝ මම කටේ තිබ්බා විතරයි. ඉතිරි ටික එහෙම්ම තියෙනවා.”
‘හරි. මේ බෝතලේ රස පරීක්ෂකට යොමු කර වාර්තාවක් ගන්න ඕනෑ. ඔබතුමා ඕක අපේ භාරයට දෙන්න.”
‘හරි මහත්තයෝ ඉක්මනට එන්න.”
ඒ වන විටත් පොලීසිය ඔහුගේ නිවෙස ඉදිරිපිට සිටියේය.
‘හරි මහත්තයා අපි මේක රස පරීක්ෂකට යවන්නම්. මේකේ පැමිණිල්ල ලියාගන්න ඔයත් එන්න පොලීසියට” යැයි කියූ නිලධාරීන් ඔහු කුදලාගෙන පොලිස් ජීප් රියට දාගත්තේලු.
පොලීසියට ගෙනා බෝතලේට සිල් වැදුණි. අවසානයේ පොලිස් ඇප මත ගෙදර එන්න ඔහුට සිදු විය.
ගාල්ල දිසා සමූහ – නන්දසිරි වැලිගමගේ