මිනිත්තු 25කදී ත්‍රස්ත මධ්‍යස්ථාන 9කට ගුවන් ප්‍රහාර 24ක්
ත්රස්තවාදීන් 70ක් මියගිය බව ඉන්දියාව කියයි
කාශ්මීර් ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ දකුණු ආසියානු කලාපයේ පැතිරී ගිය ඉන්දු – පාකිස්තානය යුද උණුසුම දරුණු අතට හරවා තැබූ ඉන්දීය හමුදාව පාකිස්තාන කාශ්මීරයේ ත්‍රස්ත ඉලක්ක 9ක් වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා (7) අලුයම 1.05ත්, 1.30ත් අතර ගත වූ මිනිත්තු 25ක කෙටි කාලයක් තුළ ඉන්දීය යුද හා ගුවන් හමුදා පාකිස්තාන කාශ්මීරයේ ත්‍රස්ත ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර 24ක් එල්ල කළ බවත්, එම ප්‍රහාරවලින් ත්රස්තවාදීන් 70 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත් ඉන්දියාවේ එන්ඩීටීවී පුවත් සේවය වාර්තා කළේය. මිනිත්තු 25ක් පුරා අඛණ්ඩව ප්‍රහාර සිදු කළද, කිසිදු අයුරකින් පාකිස්තාන හමුදා කඳවුරක් හෝ ගොඩනැඟිල්ලක් ඉලක්ක කර නොගත් බව ඉන්දීය රජය ප්‍රකාශ කර ඇතැයි එන්ඩීටීවී පුවත් සේවය වාර්තා කළේය. එම ප්‍රහාරවලින් තවත් 60කට අධික ත්රස්තවාදීන් පිරිසක් තුවාල ලබා ඇති බවට ඉන්දීය හමුදාව අනුමාන කරන අතර, ඔත්තු බැලීමේ ඩ්‍රෝන ඔස්සේ කලින් තහවුරු කරගත් පරිදි සිවිල් වැසියන්ට හානිය අවම වන ආකාරයෙන් ප්‍රහාරය සිදු කළ බවද නිවේදනය කර තිබේ.
‘සින්දූර් මෙහෙයුම’ නමින් හඳුන්වනු ලැබූ එම ගුවන් ප්‍රහාරය සම්බන්ධව ඊයේ නවදිල්ලි නුවරදී මාධ්‍ය හමුවක් පවත්වා ඇති අතර, ඊට ඉන්දීය විදේශ ලේකම් වික්‍රම මිස්රි, කර්නල් සොෆියා කුරේෂි සහ වින්ග් කමාන්ඩර් වෝමිකා සිං සහභාගි වූ බව එන්ඩීටීවී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවට එරෙහිව තවත් ප්‍රහාර එල්ල වීමට නියමිත බව ඉන්දීය බුද්ධි අංශ පෙන්වා දුන් බව මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය විදේශ ලේකම්වරයා ප්‍රකාශ කර ඇති අතර, සින්දූර් මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවේ ත්‍රස්ත තර්ජනය ඉවත් කිරීම සහ වැළැක්වීම අරමුණු කරමින් බව ඔහු සඳහන් කර තිබේ. දේශසීමා ත්‍රස්තවාදය තුරන් කිරීමට සහ ඉවත් කිරීමට ඉන්දියාවට ඇති අයිතිය එම මෙහෙයුමෙන් පාකිස්තානයට පෙන්වා දුන් බව ද ඉන්දීය විදේශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. ගුවන් ප්‍රහාරය එල්ල කර ඇත්තේ ජම්මු කාශ්මීර ප්‍රහාරයට වගකිව යුතු ලෂ්කරී තයිබා සංවිධාන ඉලක්ක වෙත බවද වාර්තා වේ.
ත්‍රස්තවාදී කඳවුරු පවත්වාගෙන යන බවට ඉන්දීය බුද්ධි අංශ විසින් දිගු කාලයක් පුරා සැක කරනු ලැබූ පාකිස්තාන කාශ්මීරයේ මුසාෆරාබාද්, කොට්ලි, බහවල්පූර්, රාවල්කෝට් ඇතුළු ස්ථාන ගණනාවකට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර, එම ස්ථානවල ලෂ්කරී තයිබා ත්‍රස්ත සංවිධානය සහ ජයිෂී මොහොමඩ් ත්‍රස්ත සංවිධානය ඒකාබද්ධව පුහුණු කඳවුරු පවත්වාගෙන ගිය බවට ඉන්දීය බුද්ධි අංශ තහවුරු කර ඇතැයි එන්ඩීටීවී පුවත් සේවය සඳහන් කළේය.
ඉන්දීය රජයේ ප්‍රකාශයකට අනුව සියලු ප්‍රහාර නියමිත ඉලක්කය කරා යොමුවී ඇති අතර, ත්රස්තවාදීන්ගේ ඔත්තු බැලීමේ මධ්‍යස්ථාන, පුහුණු කඳවුරු සහ අවි ගබඩා විනාශ කිරීමට සමත් වී තිබේ.
පාකිස්තානයට අයත් කාශ්මීර් කලාපය කේන්ද්‍ර කරගත් ත්‍රස්ත කඳවුරු වෙත ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවේ පසුගියදා පාකිස්තාන ත්රස්තවාදීන් ජම්මු කාශ්මීරයේදී සංචාරකයන් 26 දෙනකු ඝාතනය කිරීමේ සිදුවීමට ප්‍රතිචාර දැක්වීමට බව එන්ඩීටීවී පුවත් සේවය සඳහන් කළේය. පසුගිය දශක තුන ඇතුළත පාකිස්තානය බඳවා ගැනීමේ මධ්‍යස්ථාන, පුහුණු කඳවුරු ඇතුළත්ව ත්රස්තවාදීන්ට යටිතල පහසුකම් සැපයූ බවත්, සින්දූර් මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ අනාගතයේදී කාශ්මීරයේ ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට බවත් කර්නල් සොෆියා කුරේෂි ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.