මියන්මාරයේ පසුගිය මාර්තු අගභාගයේ සිදුවූ භූකම්පනයෙන් තායිලන්තයේ බැංකොක් නුවර ඉදි කරමින් පැවැති ගොඩනැඟිල්ල බිඳ වැටීමෙන් තායි රජයට එරට මුදලින් බාට් බිලියන 2.1ක පාඩුවක් සිදුවී ඇතැයි බැංකොක් පෝස්ට් පුවත් සේවය වාර්තා කරයි. භූකම්පනයෙන් බිඳ වැටෙන විට ඉදිකිරීම් කටයුතුවලින් 30%ක් අවසන් කර තිබූ මහල් 30 කින් සමන්විත එම ගොඩනැඟිල්ලේ ප්‍රමිතිය පිළිබඳ බරපතළ චෝදනා එල්ල වී ඇතැයි ද බැංකොක් පෝස්ට් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. තායිලන්තයේ විගණක කාර්යාල සංකීර්ණය වෙනුවෙන් ඉදිකරමින් තිබූ එම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් භාරව සිටි චීනයට අයත් සමාගමක් සමඟ තායි විගණන දෙපාර්තමේන්තුව අත්සන් තබනු ලැබූ ගිවිසුම අභියෝගයකට ලක්කරමින් නොසැලකිලිමත්භාවය හා රාජකාරිය පැහැර හැරීම සම්බන්ධව විගණකාධිපති මොන්ටියන් චරොයින්ෆොල්ට එරෙහිව බැංකොක් පොලීසියට පැමිණිලි ලැබී ඇතැයි ද වාර්තා වේ.
බිඳ වැටුණු ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සඳහා භාවිතයට ගෙන ඇත්තේ තායි ආරක්ෂක ප්රමිතීන් උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊට මාස කිහිපයකට පෙර වසා දැමීමට නියෝග කළ රයොන්ග් පළාතේ කර්මාන්තශාලාවක නිෂ්පාදනය කළ වානේ බව පරීක්ෂණවලින් හෙළි වී ඇති බවත්, වසා දැමීමට නියෝග කළ ද එහි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදුකර ඇති බව කර්මාන්තශාලාවේ නවතම විදුලි බිල්පත්වලින් අනාවරණය වී ඇති බවත් බැංකොක් පෝස්ට් පුවත් සේවය සඳහන් කළේය. ජීවිත 62ක් බිලි ගනිමින් ද, තවත් ජීවිත 32ක් අතුරුදන් කරමින් ද භූකම්පනයෙන් විනාශ වූ ගොඩනැඟිල්ලේ සුන්බුන් ඉවත් කිරිමේදී මළසිරුරු කොටස් 250කට අධික සංඛ්‍යාවක් ද සොයාගෙන ඇතැයි වාර්තා වේ.