ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන තාක්ෂණ පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේම සිසුන් 7 දෙනකු ඇපමත මුදාහැරීමට හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (07) නියෝග කර තිබේ.
ඒ අනුව එක් සිසුවකුට රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස නියෝග කර තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 7 දෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයට කරුණු දක්වමින් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කර තිබේ.
මෙලෙස ඇප නියම වූයේ අවුරුදු 22,23 හා 24 වයස්වල පසු වන කිරිඳිවැල, දෙල්ගොඩ, යුදගනාව, තලපිටියාගම, නලංකුට්ටි හා කුලියාපිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටි සිසුන් පිරිසකටය.
පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු සිදුකර හෝමාගම මූලස්ථාන පොලීසිය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන තිබුණි.
එම විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ මාතර වැලිගම ප්‍රදේශයේ ශිෂ්‍යයෙකුට හෝමාගම පිටිපන ප්‍රදේශයේ නවතැන්පොළක් තුළදී සැකකාර සිසුන් පසුගිය දා පහරදී තිබුණු අතර අදාළ සිසුවා විශ්වවිද්‍යාලය තුළ නවක වදයට එරෙහිවීම, සවස 6න් පසු විශ්වවිද්‍යාලය තුළ සැරිසැරීම සහ අන්වර්ථ නමක් භාවිත නොකිරීම හේතුවෙන් මෙලෙස පහරදී ඇති බවට අදාළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකුට සිසුන් පිරිසක් හෙල්මට්වලින් හා අතින් පයින් පහරදී තර්ජනය කිරීමක් සම්බන්ධව සිසුන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
අප්‍රේල් මස 29 වැනි දා හෝමාගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අධිකරණයට දැනුම් දුන් පොලීසිය පෙරේදා (06) දින සැකකාර සිසුන් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරමින් පැවැසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කර ඉදිරි දින අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියම කළාය.