ඩොලර් මිලියන 15ක වටිනාකමක් ඇති ප්රශ්නගත මිග් යානා 8 මිලදී ගැනීමෙන් රජයට පාඩුවක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ වැඩිදුර වාර්තා සඳහා ලබන නොවැම්බර් මස 12 වැනි දක්වා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය ඊයේ (7) නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග යන අය නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටියේය.
සැකකාර උදයංග වීරතුංග යන අය විදේශ සංචාර මෙහෙයවා රටට ඩොලර් ගෙන එන බවත් මින් පෙර අධිකරණ අවසරය මත විදේශගතව ඇති බවත් කියමින් තාවකාලිකව විදේශගත වීමට අවසර ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කළ ඉල්ලීමකට අවසර ලැබිණි. ඉදිරි දින දක්වා විදේශගත වීමට අවසර ලබා දුන් මහේස්ත්රාත්වරිය ඒ බව ආගමන විගමන පාලකවරයා වෙත දක්වා යවන ලෙසට රෙජිස්ට්රාර්වරියට නියෝග කළාය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ඩී.එස්. එලායන්ස් සහ බෙරිමිසා හෝල්ඩින්ග්ස් සමාගම්වල අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කරන සැකකරුවන් ලෙස නම් කර ඇති දෙදෙනාට දැනට නිල් නිවේදන නිකුත් කර ඇත.
ඔවුන් දෙදෙනාට වරෙන්තු නිකුත් කර ඇද්ද යන්න මහේස්ත්රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නඩුව කැඳවූ අවස්ථාවේ විමසා සිටියාය.