විල්පත්තු අභයභූමිය හරහා යෝජිත අධිවේගී මාර්ගය ඉදි නොකිරීමට බලධාරීන් තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (07) දැනුම් දුන්නේය.
එම අධිවේගී මාර්ගය ඉදි කිරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා මහත්මිය මේ බව දන්වා සිටියාය.
ඒ අනුව එම අධිවේගී මාර්ගය ඉදිකිරීමට එරෙහිව පාරිසරික පදනම ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම පෙත්සම්කාර සහ වගඋත්තරකාර දෙපාර්ශ්වයේ එකඟතාවය මත සමථයට පත් විය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ මඬුල්ලක් හමුවේ මෙම සමථය ඇති කර ගනු ලැබුණි.
කෙසේ වුවද විල්පත්තු අභයභූමිය හරහා පවතින මාර්ගය භාවිත කිරීම වන සංරක්ෂණ සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ ඇති විධිවිධාන අනුව සිදු කළ යුතු බවට එහිදී සඳහන් කෙරිණ. ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කෙරිණ.
සීමාසහිත පාරිසරික පදනම් ගොනුකොට තිබූ මෙම පෙත්සමේ වගඋත්කරකරුවන් ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර සිටියහ. විල්පත්තු අභයභූමිය හරහා අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කරන යන බව තමන්ට දැනගන්න ලැබී ඇති බවට පෙත්සම්කාර පාර්ශ්වය කරුණු ඉදිරිපත් කර තිබුණි. එයින් සමස්ත පරිසර පද්ධතියම විනාශ විය හැකි බැවින් අදාළ ව්‍යාපෘතිය වළකාලන අතුරු නියෝගය නිකුත් කරන ලෙස පෙතසම මඟින් ඉල්ලා තිබුණි. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙනී සිටියේය . වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ රුස් රූස්ලි හබිබි මහතා පෙනී සිටි අතර නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය පෙනී සිටියාය.