කිරිබත්ගොඩ නව නගරයේ ඉදිකිරීම් සඳහා පවරාගෙන තිබූ රුපියල් කෝටි දෙකක වටිනාකමකින් යුත් රජයේ ඉඩමක් කූට ලේඛන සකසා පෞද්ගලික අංශයට විකුණුවේ යැයි කියන සිද්ධියට අදාළව විවෘත වරෙන්තු නිකුත් වී සිටි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන මැයි මස 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය ඊයේ (07) නියෝග කළාය.
එම සැකකරුගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් ගැනීමට ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ විමර්ශන නිලධාරීන්ට ඊයේ (07) අවසර දුන්නාය.
මහේස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග කළේ, නීතිඥ උත්පලා බස්නායක මහත්මිය විසින් මෝසමක් මඟින් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
මෙම සිද්ධියට සම්බන්ධ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, දෙවැනි සැකකරු වන කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු වන වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල්, හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් සහ තරංග නවීන් වීරකෝන් යන සිවුදෙනා ද ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඉකුත් නඩු දිනයේදී මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබිණි.
මෙම සිද්ධියට සම්බන්ධ අධිකරණය මඟහැර සිටින අනෙක් සැකකරු වන්නේ කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන අයවලුන්ය. එම තැනැත්තාට ද අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් වී ඇත.
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිල පල්ලියගේ මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් කරුණු ඉදිරිපත් කරමින් මෙසේ පැවසූහ.
“මෙම නඩුව ඉකුත් අප්‍රේල් මස 09 වැනි දින කැඳවූ අවස්ථාවේ සිය සේවාදායකයා අධිකරණය දිගින් දිගටම මඟහරින නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඔහුට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙසට ඉල්ලා සිටියා. එහිදී මම මෙම අධිකරණය හමුවේ පෙනී සිටිමින් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසට කොළඹ අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර තිබුණා. එහි නියෝගය ඉකුත් 28 වැනි දින දුන්නා. එහිදී මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අපි ඉකුත් නඩු දිනයේදී සඳහන් කළා. ඒ අනුව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අද දින මෙම අධිකරණය හමුවට ඉදිරිපත් කරනවා. මෙම සැකකරු සම්බන්ධව අද දින ඇප ඉල්ලීමක් කරන්නේ නැහැ. අපි ඉදිරියේදී ලිඛිතව ඇප ඉල්ලීම කිරීමට කටයුතු කරනවා. මේ වන විට මෙම සැකකරු සම්බන්ධව ඉකුත් 05 වැනි දින මෙම සැකකරු දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට විවෘත වරෙන්තු නිකුත් වී තියෙනවා. ඒ අනුව මෙම සැකකරු සම්බන්ධව ඉදිරි දින සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට නියම කරන ලෙසට ඉල්ලා සිටිනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මෙම සැකකාර හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ කිරිබත්ගොඩ නව නගරයේ ඉදිකිරීම් සඳහා පවරාගෙන තිබූ රජයේ ඉඩම, රජයේ ඉඩමක් බව දැන දැනම මෙහි සැලස්ම අනුමත කර මෙහි වරිපනම් අංක දී ඇති නිසා මේ වන විට මේවාට විදුලිය සහ නළ ජලය ලබා දී තියෙනවා. මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධව නීතිපතිවරයා වෙත උද්ධෘත ගොනු යැවීමෙන් අනතුරුව මෙහි විමර්ශන කටයුතු සිදු කර නැහැ. මේ වන විට මෙම නඩුව පොදු දේපොළ පනත යටතේ පවරා ඇති නඩුවක්. මෙම සැකකරු රිමාන්ඩ් කිරීමෙන් අනතුරුව බන්ධනාගාරය තුළදී ඔහුගෙන් ප්‍රකාශයක් ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට නියම කරන ලෙස ඉල්ලා සිටිනවා.”
මෙහි සැකකරුවන්ගේ සාක්ෂි සම්පිණ්ඩන වාර්තා අධිකරණයට ලබා දෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.
ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරිය මෙම සැකකරුගේ ආරක්ෂාව සම්බන්ධව මහර බන්ධනාගාර අධිකාරිවරයාගේ අවධානය යොමු කිරීමට නියම කර නඩුව කල් තැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. විජේතුංග සහ එහි සැරයන් (35077) එස්. ප්‍රියන්ත ඩෙන්සිල් යන නිලධාරීහු පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.