වෙසක් සුළඟත් සමඟ විටෙක ගිනිගහන අව්වත්, තවත් විටෙක හිටිහැටියේ ඇදහැලෙන වැස්සත් මෙකලෙහි වැව්බැඳි රටට සුපුරුදු දසුනක් වී තිබේ. මෙසමයෙහි වැස්ස ද කිසියම් උණුසුමකට ආ වඩයි. එහෙයින්ම මොහොතකදී පිපාසයෙන් දිව කට වියළී යයි. වතුරෙන් නොසෑහී තිබහ නිවන වෙනත් විකල්ප සඳහා ද මේ අවධියෙහි හොඳ ඉල්ලුමක් නිර්මාණය වෙයි. එපමණකින් රජරට වෙල් ළියැදිවලත්, හේන් බිම්වලත් මනාව වැවෙන පැණි කොමඩු නැතිනම් පැණි පුහුල් වෙළෙඳාමට සරු කාලයක් උදාවෙයි. කොමඩු, තද පිපාසයට දිව ඔසුවක් බඳුය. කාෂ්ඨක අව්ව කොමඩු වෙළෙඳාමට ගජ වාසියකි. එහෙයින්ම අතරමැදි වෙළෙදුන් මඟහැර සිය ගොවිබිමෙන් නෙළා ගත් කොමඩු අස්වැන්න සමඟ ගෙවිලියෝද මෙකලෙහි මහමඟට එති. එය අමුතුම කලාවකි. එමඟින් ඔවුනට වැඩි ලාභයක් ගෙනදෙයි. කීයක් හෝ අඩුවෙන් නැවුම් කොමඩු ගතහැකි බැවින් එය පාරිභෝගිකයන්ට ද වාසියකි.
හිරු උදාවෙත්ම ගොවීන් සමඟ පාරට එන ගෙවිලියෝ සිය පවුලට සවියක් වෙමින් කොමඩු වෙළෙඳාමට යොමු වෙති. අතිරේක භෝගයක් ලෙස පැණි කොමඩු වගාවේ නියැළී ඇති ගැමි ලියන් සිය අස්වැන්න විකුණා ගැනීමේ අටියෙන් මේ අන්දමින් අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තැන තැන දැකගත හැකිය. තලාව, තඹුත්තේගම, ශ්‍රාවස්තිපුර, මොරගොඩ, අනුරාධපුර පූජා නගරය ආදී ප්‍රදේශවල ඔවුහු වෙළෙඳාමේ යෙදෙති.
මෙපරිද්දෙන් තලාව ප්‍රදේශයේ පැණි කොමඩු වෙළෙඳාමේ යෙදෙන ගෙවිලියක වන ඉන්ද්‍රාණි දිසානායක මහත්මිය සිය අත්දැකීම් මෙසේ පැවසුවාය.
“ඔය දුරබැහැර ඉඳලා ශ්‍රී මහා බෝධිය වඳින්න එන මිනිස්සු අපි ළඟත් නවත්තනවා. අහල පහල ගම්වල ඉන්න රස්සා කරන කට්ටිය එහෙම සමහර වේලාවට සවසට ගෙදර යන ගමන් කොමඩු ගෙඩියක් ගන්න නවතින වේලාවල් තියෙනවා. කොහොමත් ඉරිදා, සෙනසුරාදා, පෝය දවස්වලට එහෙම ආදායමක් තියෙනවා. මේ පෑවිල්ලත් එක්ක වෙළෙඳාම හොඳයි. අපි වගා කරපුවා තමයි කඩාගෙන ඇවිල්ලා මේ විකුණන්නේ. කොමඩු වර්ග දෙකක් තමයි මේ පැත්තේ හැදෙන්නේ. එකක් ඔය තද කොළ පාට වර්ගේ. අනිත් වර්ගේ ගෙඩිය මැද පුල්ලි පුල්ලි තියෙන ළා කොළ පාට එක. ඔය දෙවර්ගෙම විකිණෙනවා. දෙවර්ගෙම රසයි. ලොකු වෙනසක් නෑ. තද කොළ පාට වර්ගය ටිකක් මිලෙන් වැඩියි.”
තලාව, පයිණ්ඩිකුලම ප්‍රදේශයේ පැණි කොමඩු වගාකර එම අස්වැන්න මහමඟට ගෙනවිත් විකුණන දයානි කුසුමලතා මහත්මිය කුඹුරෙන් මහ පාරට පැමිණ සිදු කරන වෙළෙඳාම සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූවාය.
“තඹුත්තේගම මාකට් එකට ගෙනියනවට වැඩිය පැණි කොමඩුවලට හොඳ ආදායමක් ගන්න පුළුවන් අපිම පාරේ තියාගෙන විකුණන එකෙන්. අපි කිලෝ එකක් විකුණන්නේ රුපියල් සීය ගානේ. මේ දවස්වල තියෙන වියදම එක්ක බලනකොට ඒකෙන් ලොකු දෙයක් නැති වුණත් ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න පුළුවන්. සමහරු වගා ළිංවල වතුර ගහලා තමයි මේ ගොවිතැන කරන්නේ. ඉතිං අමතර වියදමක්, මහන්සියක් දරන්න ඕනෑ. එහෙම කරලත් පාඩුවට විකුණනවට වැඩිය අපිම මේ විදියට වෙළෙඳාමක් කරගන්න එකෙන් ලාභයක් තියෙනවා. අව්ව දවස්වලට වෙළෙඳාම ටිකක් වැඩියි. ඒත් අපි වගේ පාරේ කොමඩු විකුණන කට්ටිය වැඩි හින්දා පොඩි තරගයක් තියෙනවා.”
තලාවේ රුවන්තිකා පද්මලතා මහත්මිය පැණි කොමඩු වෙළෙඳාම සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූවාය.
“පැණි කොමඩු ටිකක් උදේට අත් ට්‍රැක්ටරේ දාගෙන ආවහම හවස් වෙනකොට දෙයියනේ කියලා ආදායමක් හොයාගන්න පුළුවන්. අපිම ගොවිතැන් කරලා අපිම විකුණගන්න එක හැම අතින්ම ලාභයි. හිතටත් සහනයක්. ඔය අටමස්ථානෙට එහෙම යන කට්ටිය වාහන නවත්තලා අපෙන් කොමඩු අරන් යනවා. අපිම වවලා අපිම විකුණන හින්දා අපි ළඟ මිල අඩුයි. ඔය පූජා නගරේ පැත්තේ එහෙම සමහර තැන්වල කොමඩු කිලෝ එකක් රුපියල් 120ටත් වැඩියි මේ දවස්වල. අපි උදේ නවය විතර වෙනකොට එනවා. හවස හතර විතර වෙනකොට ගෙවල්වලට යනවා. ඒ අතරේ හොයාගන්න ආදායමක් තමයි.”