පාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ අටවැනි රැස්වීම යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසම යටතේ කොළඹ දී පැවැත්විණි.
දූෂණයට එරෙහිව සටන් කිරීම,කම්කරු අයිතිවාසිකම්, සුළු ජාතිකයන්ගේ අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම් ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීම, සිවිල් සමාජය සඳහා හිතකර අවකාශයක් ඇති කිරීම, මැතිවරණ ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සහ ස්ත්‍රී පුරුෂභාවය සහ ලිංගික දිශානතිය මත පදනම් වූ වෙනස්කම් කිරීම වැළැක්වීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රාශියක් ක්‍රියාකාරී කණ්ඩායම විසින් සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මේ සාකච්ඡා අතරතුර, පසුගිය වසරේ දී, මනාව සංවිධාන කර සාමකාමීව පවත්වනු ලැබූ ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ පිළිබඳව යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළ කළ අතර, යුරෝපා සංගමයේ මැතිවරණ නිරික්ෂණ මෙහෙයුම ජනාධිපතිවරණවල දී දැක්වූ සහාය ශ්‍රී ලංකාව අගය කළේය. ආර්ථිකය ස්ථාවර කිරීම, එය යථා තත්ත්වයට පත්කිරීමට ගනු ලබන අඛණ්ඩ ප්‍රයත්න සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත පදනම් වූ පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වන රජයේ ක්‍රියාකාරී සැලැස්ම වැනි වැදගත් මුලපිරීම් සම්බන්ධයෙන් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට සිය ප්‍රශංසාව පළ කළේය. දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම සම්මත කිරීම මෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ශක්තිමත් කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට පැහැදිලි කළේය.
යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම සඳහා පාලනයේ සහ අධිකරණ ක්‍රියාවලිහි වැදගත්කම පිළිගෙන තිබෙන අතර, ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලිය, පාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීමට නීතිමය රාමුව ශක්තිමත් කිරීම සඳහා රජය තේරී පත් වූ දා පටන් ගෙන ඇති පියවර පිළිබඳව ශ්‍රී ලංකා පාර්ශ්වය යුරෝපා සංගමය දැනුම්වත් කළේය. විශේෂයෙන් ප්රජාතන්ත්රවාදී සමාජයේ සියලු දෙනාම ඇතුළත් කරගත් සහ උපදේශාත්මක ව්‍යවස්ථාදායක ක්‍රියාවලීන් වර්ධනය කිරීමෙහිලා සිවිල් සමාජ සංවිධානවලින් ඉටු කෙරෙන වැදගත් කාර්යභාරය සම්බන්ධයෙන් ඔවුහු එකඟ වූහ.
මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ නීතිමය ගිවිසුම් ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට අදාළ වන පරිදි සහයෝගයෙන් කටයුතු කිරීමට ක්‍රියාකාරී කණ්ඩායම සිය හවුල් කැපවීම නැවත අවධාරණය කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට ඇති කැපවීම ශ්‍රී ලංකාව තහවුරු කළ අතර, ජාත්‍යන්තර සම්මතයන් සහ ප්‍රමිතීන්ට අනුකූලව නව ත්‍රස්ත විරෝධී නීති සම්පාදනයකින් එය ප්‍රතිස්ථාපනය කිරීමේ කාලරාමුව පිළිබඳව ක්‍රියාකාරී කණ්ඩායමට පැහැදිලි කළේය. GSP+ වෙළෙඳ මනාප හරහා යුරෝපීය වෙළෙඳපොළට අඛණ්ඩව ප්‍රවේශ වීම සහතික කිරීමට ජාත්‍යන්තර මානව හිමිකම් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන්ට අනුකූලව අදාළ නීති ගෙන ඒමේ අවශ්‍යතාව යුරෝපා සංගමය සිහිපත් කළේය.
වෙනස් කොට සැලකීම අවසන් කර ජාතික සමගිය ගොඩනැඟීමට රජය දක්වන කැපවීම මෙන්ම, සියලු ප්‍රජාවන් ඇතුළත් කර ගන්නා සහ සහභාගි කර ගන්නා ක්‍රියාවලියක් තුළින් ශ්‍රී ලංකාවේ සත්‍යය සහ සංහිඳියා රාමුව ශක්තිමත් කිරීම සඳහා වන ප්‍රතිඥාව යුරෝපා සංගමය අගය කළේය. යුරෝපා සංගම් සහ ශ්‍රී ලංකාව, බහුපාර්ශ්වික එක්සත් ජාතීන්ගේ රාමුවේ අඛණ්ඩව කටයුතු කිරීමට සහ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සහ මානව හිමිකම් කවුන්සිලය සමඟ ඔවුන්ගේ සම්බන්ධතාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට ඔවුනොවුන් සතු කැපවීම නැවත අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ බහුපාර්ශ්වික, නීති මත පදනම් වූ ජාත්‍යන්තර ක්‍රමවේදයට අඛණ්ඩව සහාය දැක්වීම සඳහා යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව ද ඔවුන්ගේ හවුල් කැපවීම නැවත තහවුරු කෙළ්ය. ක්‍රියාකාරී කණ්ඩායමේ නිගමන සහ නිර්දේශ, වසරේ අග භාගයේ දී කොළඹ දී පැවැත්වීමට නියමිත යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමට වාර්තා කරයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපීය සහ උතුරු අෙමරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා විසින් ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දැරීය. යුරෝපා සංගමයේ නියෝජිත පිරිසේ නායකත්වය යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි මහතා විසින් හොබවන ලදි.