ජනතාව ප්‍රතික්ෂේප කරන කිසිම පක්ෂයක් සමඟ සන්ධානගතව සභා පිහිටුවීමට ජාතික ජන බලවේගය කටයුතු නොකරන බවත් ස්වාධීනව තරග කර ජයග්‍රහණය කළ ජාතික ජන බලවේගය සමඟ එක්ව කටයුතු කිරීමට කැමැත්තක් දක්වන ස්වාධීන පක්ෂ සමඟ එක්ව සභා පිහිටුවීමට පියවර ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
පැලවත්ත ජවිපෙ පක්ෂ මූලස්ථානයේ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. ඒ මහතා මෙසේද පැවසීය.
පළාත් පාලන ආයතන බහුතර සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට අපට හැකි වුණා. ජාතික ජන බලවේගය ගැන ජනතාව නැවත වරක් විශ්වාසය තබා තහවුරු කිරීමක් මේ මැතිවරණයෙන් පෙන්නුම් කරනවා. මේ මැතිවරණ ප්‍රතිඵලය ගැන විවිධ පක්ෂ ඒ ඒ අයට වාසි වෙන විදිහට විවිධ විග්රහ කිරීම් කරනවා. ඒ කුමන විග්රහ කළත් මාලිමාව පළාත් පාලන ආයතන ජයග්‍රහණය කර තිබෙනවා. මාලිමාව ජයග්‍රහණය කරවීමට උදවු කළ සියලුදෙනාට ස්තුති කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා. මේ මැතිවරණ ප්‍රතිඵලය පසුගිය මැතිවරණ ප්‍රතිඵල සමඟ සංසන්දනයට ඇතැම් පිරිස් උත්සාහ කරනවා. ඒක සුදුසු ක්‍රියාවක් නොවෙයි. මොකද ජනාධිපතිවරණය, මහමැතිවරණය කියන්නේ පළාත් පාලන මැතිවරණයට වඩා වෙනස් වූ මැතිවරණ දෙකක්. ඉතින් ඒවාත් එක්ක සංසන්දනය කිරීම නිවැරදි නැහැ. කෙසේ වෙතත් තනි පක්ෂයක් ලෙස ජාතික ජන බලවේගය විශාල ජයග්‍රහණයක් මේ මැතිවරණයෙන් ලබා තිබෙනවා. සියලු ආයතන 339කින් ආයතන 254කට වැඩි ප්‍රමාණයක මන්ත්‍රී සංඛ්‍යාවක් ජයග්‍රහණය කරන්න අපි සමත් වෙලා තිබෙනවා. දේශපාලනිකව බැලූවිට මේ මැතිවරණය ජයග්‍රහණය කර තිබෙන්නේ මාලිමාවේ අපි. ජනතාව මාලිමාව විශ්වාස කර තිබෙනවා. මේ පළාත් පාලන ආයතන භාර දිය යුතු මාලිමාවට කියන එක ජනතාව විශ්වාස කර තිබෙනවා. අපි ජයග්‍රහණය කර තිබෙන සියලු ආයතනවල සභා පිහිටුවා අපි සැලසුම් කර තිබෙන ව්‍යාපෘති, රට වෙනස් කිරීමේ කාර්ය, පාර්ලිමේන්තුවෙන් පටන්ගත් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ කාර්යය ගම දක්වා ගෙන යාමට පුළුවන්කම තිබෙනවා. මේ මැතිවරණය ප්‍රාදේශීයකරණය වූවක්. ගමේ ඥාතියා, හිතවතා, අසල්වැසියා කියන හැඟීම ඇතිව ගමේ ජනතාව පක්ෂයක් නොබලා අර හිතවතාට, අසල්වැසියාට ඡන්දය දෙන්න පෙලඹෙනවා. මේ මැතිවරණය ජාතික මැතිවරණයට වඩා වෙනස්. පළාත් පාලන මැතිවරණයේ දී ඡන්දය භාවිත කිරීමේ අඩුවක් තිබෙනවා. මේ මැතිවරණ ක්‍රමයේත් කිසියම් ගැටලුවක් තිබෙනවා. බහුතරයක් දිනා ගත් පක්ෂයට සභාව පිහිටුවීමේ අවස්ථාව නැති කරන අවස්ථාවක් මේ මැතිවරණ ක්රමයේ තිබෙනවා. විපක්ෂයේ පක්ෂ ටික එක්වෙලා සභා පිහිටුවීමට උත්සාහ කළත් එය ප්රජාතන්ත්රවාදය නොවෙයි. මොකද ජනතාව ඒවා පරාජය කළ පක්ෂ. ඉතින් ඒවා එක්වෙලා සභාව පිහිටුවීම සුදුසු වෙන්නේ නැහැ. පරාජය කළ පක්ෂ පරාජය භාර ගත යුතුයි. මැතිවරණ ක්රමයේ පවතින දුර්වලතාවක් එය. 2018 වසරේදී පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ඒ පෙරමුණ ජය ගත් ආයතන සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් අපි මෙවර ජයගෙන තිබෙනවා. දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කැස්බෑව, මාතර, පාණදුර යනාදියේ කොට්ඨාස සියල්ලක්ම මාලිමාවට ජය ගන්න හැකි වුණා. අපි ශක්තිමත් ජයග්‍රහණයක් ලබා තිබෙනවා. රට සංවර්ධනය කිරීමට අපට මේ ජයග්‍රහණය ප්‍රමාණවත්.
වංචා, දූෂණ නැති ආණ්ඩුවක් නිර්මාණය කළා. වංචා දූෂණ නැති ප්‍රාදේශීය සභා, නගර සභා හැදීමේ කාර්යය කරන්න වුවමනාව තිබෙනවා. කොන්ත්රාත්වලින් හම්බ කරන්නේ නැති, පගා ගහන්නේ නැති පාලනයක් පළාත් සභාවල නිර්මාණය කිරීමට අවශ්‍යයි. ඒ වගේම මහජන මුදල් නාස්ති නොකර ජනතාවට සේවය කිරීමේ සංස්කෘතිය පටන්ගෙන තිබෙනවා. ඒ සේවය අපට ගමටත් ගෙනියන්න පුළුවන්කම තිබෙනවා. රටක් ලෙස පටන්ගත් දේශපාලන සංස්කෘතියේ වෙනස්කම්, වංචා දූෂණවලින් තොරව පාලනය කිරීම, මහජන මුදල් සොරකම් නොකිරීම, නාස්ති නොකිරීම වැනි වටිනා දේවල් බිමට ගෙනත් ගම තුළත් එය තහවුරු කර, රට අලුත්ම දිසාවකට ගෙනයෑමට මේ ජයග්‍රහණය ඉවහල් වෙනවා. ජනතාව පක්ෂයක් ලෙස මාලිමාව ගැන විශ්වාසය තබා, අනුමත කර, මාලිමාවට බලය ලබා දී තිබෙනවා. ඒ නිසා අපට ජයග්‍රාහීව ඉදිරි ගමන යාහැකිව තිබෙනවා.
ඉදිරියේදී සභා පිහිටුවා ගනිමින්, ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කර ගනිමින්, මේ රට වෙනස් කිරීමට දරන ප්රයත්නයට තවත් ශක්තිය එකතු කර ගනිමින් කිසියම් හෝ දුර්වලතා තිබෙනවා නම්, ඒවා වෙනස් කර ගනිමින් ඉදිරියට යෑමට අප සූදානම්. ජනාධිපතිවරණයේදිත්, මහමැතිවරණයේදීත්, ජයග්‍රහණය ලබාදෙමින් විපක්ෂයේ බොරු, බේගල් පැත්තකට දමා මාලිමාවට ජයග්‍රහණය ලබාදී තිබෙනවා.
අපි මැතිවරණ සංස්කෘතිය වෙනස් කර තිබෙනවා. අපි රාජ්‍ය බලය යෙදවූයේ නැහැ. රජය මැදිහත් වෙලා ගැටුම් නිර්මාණය කළේ නැහැ. මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා අඩුම, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම අඩුම ඡන්දයක් අපි පැවැත්වූවා. ප්රචණ්ඩ ක්‍රියා දෙක තුනක සිදුවීම් වුණත් එය මාලිමාවට එරෙහිව යොදා ගත් ක්‍රියා. පොලොන්නරුවේ කණ්ඩායම් නායකයාගේ නිෙවසට ප්‍රහාරයක් එල්ල කර වාහනයට ගිනි තැබුවා. යාපනයේ අපේ අපේක්ෂකයකුට පහර දුන්නා. එවැනි කුඩා සිදුවීම් කිහිපයක් හැරුණු විට, අපට ඉතිහාසයේ කළ බඩු බෙදමින්, (සිල් රෙදි බෙදීම් වැනි) ක්‍රියා නොකර නිදහසේ ඡන්දය දෙන්න අවස්ථාව උදාකර දෙන්න හැකියාව ලැබුණා. මේ සියලු තත්ත්වයන් යටතේ වුවත් අපට විශාල ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ ජයග්‍රහණය ලබා දීමට කටයුතු කළ සියලු දෙනාට නැවතත් ස්තුති කරනවා.
ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා – පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය ජයග්‍රහණය ලබා තිබෙනවා. පසුගිය මාස 8ක කාල සීමාවකදී තුන් වැනි වරට ජාතික ජන බලවේගය ගැන විශ්වාස කරමින් ජයග්‍රහණය ලබාදී තිබෙනවා. මේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ අවුරුදු හතකට පසුවයි. මේ මැතිවරණය අවසන් වරට පැවැත්වූයේ 2018දී. පූර්ව මැතිවරණ සමය ඉතාමත් සාමකාමීයි. පශ්චාත් මැතිවරණ කාලයත් ඉතාම සාමකාමීයි.
මේ මැතිවරණයේ සමානුපාතික ක්‍රමය හරහා අනෙකුත් පක්ෂවලටත් සභිකයන් ලැබෙනවා. මේ නිසා සභා පිහිටුවීමේදී කිසියම් බල තුලනයක් කර ගත යුතුයි. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ සෑම පළාත් පාලන ආයතනයකම ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් සභාව පිහිටුවා ගැනීමට කටයුතු කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතන, නගර සභා, ප්‍රාදේශීය සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා, තමයි කොට්ඨාසවල සංවර්ධන කටයුතු කෙරෙන්නේ. එම සංවර්ධන කටයුතු කිරීමේදී මේ පළාත් පාලන මැතිවරණ හරහා අපි ලබා ගත් ජයග්‍රහණ වැදගත්. අපේ කොට්ඨාසවල අතපසු වුණු විවිධ කාර්යයන් කර ගැනීමට ඉදිරියේදි අවස්ථාව උදාවෙනවා. ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමේදී සියලු සභාවල සභිකයන් ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් සභාවල කෙරෙන කටයුතුවලදී අප සමඟ සහයෝගයෙන් වැඩ කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.
කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය-
පළාත් පාලන මැතිවරණයේදී දායකත්වය ලබාදුන් සියලු දිස්ත්‍රික්කවල, අපත් සමඟ එකතු වී වැඩ කළ සංවිධානවලට, ඡන්දය දුන් සියලු ජනතාවටත්, පක්ෂයේ සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. අපි ජනතාවට පොරොන්දු වූ පරිදි, මධ්‍යම රජයෙන් ගනු ලැබූ තීරණ වගේම, ප්‍රාදේශීය මැතිවරණයේදිත් ජනතාව සමඟ එකඟතාවකට ආවා. අපි ජනතාවට පොරොන්දු ලබා දුන්නා. මේ ප්‍රදේශ සංවර්ධනය කරන්නේ කෙසේද, ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂාව, සෞඛ්‍ය දියුණු කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ ප්‍රදේශයේ මූලික මිනිස් අවශ්‍යතා වෙනුවෙන් අපි ඉලක්ක කළ යුත්තේ කොහොමද? “ක්ලීන් ශ්‍රී ලංකා” හරහා ගම් නගර දියුණු කරන එක මේ පළාත් පාලන ආයතනවල ක්‍රියාවලියත් එක්ක අපි ඉතා ඉක්මනින් වැඩ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.
පාර්ලිමේන්තුවේ සභානායක, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා –
උතුරු, නැඟෙනහිර සභාවක් පිහිටුවීමට කිසිම දේශපාලන පක්ෂයකට සම්පූර්ණ බලය ලැබී නෑ. ජාතික ජන බලවේගය ලෙස ගත්තොත් අපට මන්ත්‍රී ධුර 150ක් උතුරු පළාතෙන් ලැබී තිබෙනවා. දැනට තිබෙන ප්‍රතිඵල අනුව මන්නාරම් දිස්ත්‍රික්කයේ සහ වවුනියාව දිස්ත්‍රික්කයේ වැඩිම සභික සංඛ්‍යාව සහ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගෙන තිබෙනවා. ඒ වගේම යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර 81ක් සමඟ වැඩි ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. අපට ප්‍රාදේශීය සභාවක් උතුරු පළාතේ තිබී නැහැ.
වවුනියාවේ එක සභාවක්. මන්ත්‍රී ධුර 150ක් ලැබීම ඉතිහාසගත වන අවස්ථාවක්. අවුරුදු සියයක් පමණ පාරම්පරිකව පාලනය කළ පක්ෂ බිඳ වැටී තිබෙනවා. නැඟෙනහිර පළාතෙත් ප්‍රාදේශීය දේශපාලන පක්ෂවල බලය විශාල වශයෙන් තිබූ පළාතක්. ජාතික දේශපාලනයේ නැති වුණාට ප්‍රදේශ තුළ, ජාතිකත්වයන් තුළ හදාගත් පක්ෂ තමයි තිබෙන්නේ. 2018 සාපේක්ෂව ගත්තොත් අපි ඒ මුළු පළාතෙන්ම පිමි ගණනාවකින් ඉස්සරහට ඇවිත් තිබෙනවා.
ජාතික දේශපාලනයේ සහ ප්‍රාදේශීය දේශපාලනයේ විශාල වෙනසක් තිබෙනවා. ජාතික ජන බලවේගය හැරුණු විට අනෙකුත් පක්ෂ අවුරුදු 20ක් 25ක් පැරණි දේශපාලනය කරපු, සභාපතිකම් කරපු, මන්ත්රීකම් කරපු අය තමයි අපේක්ෂකයන් වී ඉන්නේ. කොට්ඨාස ක්‍රමය නිසා කිසියම් බලපෑමක් තිබෙනවා. කාලයක් සිටි අයට අමතර වාසියක්ද තිබෙනවා. දැනටමත් තිබෙන සාකච්ඡා තොරතුරු අනුව, උතුරු පළාතෙත්, නැඟෙනහිර පළාතෙත් සභා ගණනාවක් ජාතික ජන බලවේගයේ සභා පිහිටුවන්න පුළුවන් වේවි. අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රතිඵලයත් එක්ක ඉදිරියට යන්න. සමස්ත ලංකාවේම 2018දී අපට ප්‍රාදේශීය සභා බලයක් තිබුණේ නැහැ.
එතැනින් පසුව අද 250කට වඩා බලයක් ලබා තිබෙන්නේ. මේ අවස්ථාවේ එයත් සැලකිල්ලට ගත යුතුයි.
උතුරු සහ නැඟෙනහිර පළාත වගේම අනෙක් පළාත්වලත් බිම් මට්ටමේ බලය ශක්තිමත් කරගෙන තිබෙනවා. කොට්ඨාස අතිවිශාල ප්‍රමාණයක් ජයග්‍රහණය කර තිබීමෙන් ආණ්ඩුවේ දේශපාලන බලයත්, ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාවලියත් ඉතාම පහසුවෙන් කරන්න හොඳ අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. අපේ අනාගත නායකත්වයන් පුරුදු කරන්න අවශ්‍යව තිබෙනවා. සියලු මන්ත්‍රීවරු සංඛ්‍යාව හාරදහසකට ආසන්නයි.
ඒක අපට විශාල ශක්තියක්. තරුණ පිරිස්, කාන්තාවන් විශාල පිරිසක් එකතු වෙනවා. මේ මැතිවරණයෙන් අපි සැලකිය යුතු අඩිතාලමක් දමාගෙන තිබෙනවා.
ඡායාරූප
දුෂ්මන්ත මායාදුන්න සහ වාසිත පටබැඳිගේ