මිනිපේ ගොවි ජනපදයේ දුෂ්කර දිළිඳු ගම්මාන ඇතුළු ග්‍රාම නිලධාරි වසම් දොළහක පමණ අතිවිශාල ජනතාවකට සුවසෙත සාදන මොරයාය ප්‍රාදේශීය රෝහල කරා පැමිණියත් ඇතැම් සේවාවන් ලබා ගැනීමට පහසුකම් නොමැතිකම හේතුවෙන් ගැමියන්ට ගමේ සිට කිලෝමීටර් 20-25ක් වැනි දුර ගෙවා මහියංගණය මූලික රෝහලට ගොස් එම සේවාව ලබා ගැනීමට සිදුව තිබෙන බව රෝගීහු සඳහන් කරති.
මෙම රෝහලෙන් රෝගියාට ලැබෙන ගුණාත්මක සේවාව හේතුවෙන් බාහිර අංශයෙන් ප්‍රතිකාර ගැනීමට දෛනිකව රෝගීන් 200කට ආසන්න සංඛ්‍යාවක් පැමිණෙන අතර, නේවාසිකව ප්‍රතිකාර ගැනීම සඳහා දිනපතා රෝගීන් 10ත් 15ත් අතර සංඛ්‍යාවක් සිටින බව ද වාර්තා වේ. ඊට අමතරව බෝ නොවන රෝග සඳහා සතියේ දිනවල පැවැත්වෙන සායනයන් සඳහා ද රෝගීහු විශාල පිරිසක් සහභාගි වෙති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ, රෝහල් කමිටු සාමාජික ඩබ්ලිව්.ජී.ආර්. කුලතුංග මහතා මෙසේ පැවසීය.
“බාහිර ප්‍රතිකාර අංශයක්, දන්ත ඒකකයක්, හදිසි ප්‍රතිකාර ඒකකයක්, බෝ නොවන රෝග සායන අංශයක්, උපදේශන අංශයක් සහ ළමා, පිරිමි, කාන්තා හා මාතෘ යන අංශ සඳහා නේවාසික වාට්ටු හතරක් රෝහලේ තිබෙනවා. මෙම අංශවල කටයුතු කිරීමට හෙද නිලධාරීන් 6 දෙනකු සිටිය යුතු නමුත් රෝහලේ සිටින්නේ හෙද නිලධාරීන් දෙදෙනෙක් පමණයි. මෙම අයගෙන් අයෙක් හදිසියේ නිවාඩු ගතහොත් එම නිලධාරියාගේ කාර්යය ද කිරීමට සිදු වනුයේ ඉතිරි එක්කෙනාටයි. වාර්තාවන අන්දමට එක් නිලධාරියකුට පැය 36ක පමණ සේවා මුරයක් කිරීමට සිදුව තිබෙනවා. මෙම හෙද හිඟය පියවා ගන්නේ රෝහලේ සිටින උපස්ථායක හෝ වෙනත් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් මඟිනුයි. එය බරපතළ තත්ත්වයක්. මොකද එයා මේ විෂය සම්බන්ධයෙන් නිසි පුහුණුවක් හෝ දැනීමක් ඇති කෙනෙක් නොවන නිසා එයාගෙන් විය යුතු අත්වැරදි බොහෝයි.”
මිනිපේ හිටපු හදිසි මරණ පරික්ෂක ආර්.ජී. උබයසේන රාජපක්ෂ මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
“මිනිපේ පළවැනි පියවරටම දන්ත ඒකකයක් තිබෙන රෝහල තමයි මේ රෝහල. නමුත් දන්ත ඒකකයක් හා එම කාර්යයට අවශ්‍ය උපකරණ තිබුණත් වසර පහක පමණ කාලයක සිට වෛද්‍යවරයෙක් නොමැතිකම නිසා රන්දෙණිගල හෝ බැඹිය ප්‍රදේශයේ දන්ත රෝගීන්ට කිලෝ මීටර් 25ක් විතර දුර ගෙවාගෙන මහියංගණය මූලික රෝහලට ගොස් එම අවශ්‍යතාව ඉටු කර ගන්න සිදුව තිබෙනවා. මෙය හරිම කනගාටුදායක තත්ත්වයක්.
ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් දොළහක අතිවිශාල ජනතාවකට සේවය කිරීමට තිබෙන මෙම රෝහලේදී හෝ නිවෙසකදී මෙන්ම මාර්ගයකදී හදිසියේ මියයන මරණයක පරීක්ෂණයක් පැවැත්විය යුතු අවස්ථාවක එහි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට සුදුසු කාර්යමණ්ඩලයක් රෝහලේ නැහැ. වසර ගණනාවක් පුරා අබලන්ව භාවිතයට ගත නොහැකිව තිබූ මෘත ශරීරාගාරය නම් ප්‍රතිසංස්කරණ කටයුතු කරමින් පවතිනවා. මෙය ප්‍රතිසංස්කරණය කරනවා වාගේම පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට වෛද්‍යවරයාට සහාය වන්නට පුහුණුවලත් සේවකයකු සහ ඒ සඳහා අවශ්‍ය උපකරණ කට්ටල ලබා දෙන්න කියා අපි ඉල්ලා සිටිනවා.”
මෙම රෝහලේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් අප කළ විමසීමේදී අදහස් දැක්වූ පාලනාධිකාරිය සඳහන් කළේ තමන්ට රෝහල සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වීමට නොහැකි බවත්, රෝහලේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදාළ අංශ දැනුම්වත් කර ඇති බවත්ය.