ගොඩගම – ඉංගිරිය මාර්ගය සංවර්ධනය කිරීමත් සමඟම පාදුක්ක නගරය ද කාපට් අතුරා පුළුල් කිරීමේදී මාර්ගය දෙපස සවිකර ඇති උසැති වීථි පහන් කණුවලින් වීථි පහන් 16ක් පමණ මේ වන විට අක්‍රිය වී ඇතැයි නගරයේ වෙළෙඳ ප්‍රජාව පවසති.
මේ වන විට පාදුක්ක ප්‍රාදේශීය රෝහල අසල පාදුක්ක බස් නැවතුම්පොළ මාර්ගය ආරම්භයේ, පාදුක්ක නගර මධ්‍යයේ, ගෑස් පහ හන්දියේ, පාදුක්ක පොලීසිය අසල, සීතාවක ප්‍රාදේශීය සභාවේ පාදුක්ක උප කාර්යාලය අසල සහ සේනානායක මාර්ගය ආරම්භයේ වීථි පහන් 16ක් මෙලෙස මාස 6කට වැඩි කාලයක සිට අක්‍රිය වී ඇතැයි ඔවුහු පවසති. ඔවුන් පෙන්වා දෙන්නේ, පාදුක්ක නගරයේ වෙළෙඳසල් රාත්‍රී 10 වන විට වසා දැමීමෙන් පසු මෙම ස්ථාන ඝන අඳුරේ පවතින බවත්, මාර්ගය සංවර්ධනය කිරීමත් සමඟම ත්‍රිරෝද රථ, යතුරුපැදි සහ අනෙකුත් රථවාහන මාර්ග නීති පවා උල්ලංඝනය කිරීමෙන් අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මීට මාස කිහිපයකට ඉහතදී මෙම ප්‍රදේශවල සිදුවූ මාරක රිය අනතුරුවලින් ජීවිත කිහිපයක් ද අහිමි වූ බවයි. එවැනි අවදානමක් ඇති මෙම මාර්ගයේ මෙලෙස අක්‍රිය වී ඇති වීථි පහන් කඩිනමින් යථා තත්ත්වයට පත්කර, නගරයේ ආරක්ෂාවත්, සිදු විය හැකි අනතුරු වළක්වා ගැනීමටත් සහාය ලබා දෙමින්, මෙලෙස අක්‍රිය වී ඇති වීථි පහන් යථා තත්ත්වයට පත් කර දෙන මෙන්, වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටිති.
මේ සම්බන්ධයෙන් පාදුක්ක පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක කංචන මුණසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ පැවසීය.
“මීට මාස කිහිපයකට ඉහතදී පාදුක්ක සතිපොළ අසල සහ පාදුක්ක ලියන්වල අතර මේ ආකාරයෙන් වීථි පහන් අක්‍රිය වී තිබූ ප්‍රදේශවල අනතුරු කිහිපයක් සිදුව තිබුණා. එවන් අවස්ථාවක නගරයේ ආරක්ෂාවත්, මාර්ගයේ ගමන් කරන සැමගේත් ආරක්ෂාව පතා, මෙලෙස අක්‍රිය වී ඇති වීථි පහන් යථා තත්ත්වයට පත් කිරීම ඉතා වැදගත්” .