භාරකරුවන් ඉදිරිපත් නොවීම නිසා මියගිය පුද්ගල මළ සිරුරු විසිඅටක්, මාස දෙකක් තිස්සේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි එම රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මළ සිරුරු විසි අටක් දීර්ඝ කාලයක් තැන්පත් කර තැබීමට ශීතාගාර පහසුකම් නොවීම නිසා එම සිරුරු එකොළහක් දින ගණනාවක සිට එළිමහනේ තැන්පත් කර ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසා සිටියි.
මොරටුව 04ක්, පිළියන්දල 04ක්, අඟුලාන 04ක්, මිරිහාන 02ක්, වැලිකඩ, මහරගම, බම්බලපිටිය, කිරුළපන, කොහුවල පොලිස් වසම්වලින් රෝහල්ගත කළ පුද්ගලයින් මියයෑමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා භාරකරුවන් ඉදිරිපත් නොවීමෙන් මෙම මළ සිරුරු මාස දෙකක සිට මෙසේ තැන්පත් කර තැබීමට සිදුව ඇතැයි පැවසේ.
ඉන් ඇතැම් මළ සිරුරු 1990 සුවසැරිය ගිලන් රථයෙන් මහමඟ වැටී සිටියදී ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ ඒවා වන අතර, තවත් කිහිපයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය ඒවා වන බවත් පැවසේ.
මෙම පුද්ගලයින් රෝහල්ගත කිරීමේදී භාරකරුවන් සේ ඉදිරිපත් වූ පුද්ගලයින් ලබා දී ඇති ලිපිනයන් ව්‍යාජ ඒවා වන බවත් ඇතැම් පුද්ගලයන්ගේ අනන්‍යතා සහතික කිසිවක් සන්තකයේ නැති බවත් ඒ හේතුවෙන් භාරකරුවන් සොයාගැනීමට නොහැකිව මෙසේ මළ සිරුරු ගොඩගැසී ඇති බවත් රෝහල් ආරංචිමාර්ග පවසා සිටියි.
එම මළ සිරුරු අවුරුදු 40 – 85 අතර වන බවට පොලීසිය සැක කරයි.
මෙම මළ සිරුරු එළිමහනේ තැන්පත් කර තැබීමෙන් සෞඛ්‍ය ගැටලු කිහිපයක් මතුව ඇති අතර, මෘත ශරීරාගාරයේ දෛනික රාජකාරිවලට දැඩි බාධා එල්ල වී ඇතැයි ද ඔවුහු පවසති.
මෙම මළ සිරුරු ඉවත් කිරීම අදාළ පොලීසි හරහා සිදු කළ යුතු අතර, ඔවුන්ගේ උදාසීන රාජකාරි විලාසය මෙසේ මළ සිරුරු ගොඩගැසීමට තවත් හේතු වී ඇති බවත් පැවසේ.
මේ සම්බන්ධයෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු පැවසුවේ,
“දැනට මාස දෙකකට ආසන්න කාලයක සිට හඳුනා නොගත් මළ සිරුරු 28ක් මෝචරියෙ තියෙනවා. ඉන් එකොළහක් එළියෙ තියෙන්නෙ. මේව ඉවත් කරගන්න කියලා පොලීසිවලට දැනුම්දී තිබුණත් තාම ඉවත් කරගෙන නෑ. මේ නිසා දෛනික රාජකාරිවලටත් බාධාවක්” බවයි.
හඳුනා නොගත් මෙම මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කිරීමට භාරකරුවන් වෙතොත් හැකි ඉක්මනින් තොරතුරු ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.