මහවැලි එච්. කලාපයේ තෙල්හිරියාව ගම්මානයේ පුරාණ ගල්විහාරස්ථානය ආසන්නයේ පිහිටි පුරාණ වැව රොන්මඩ පිරී, අහිතකර තෘණ වර්ග වැවී ගොඩවී ඇති බව ගැමියෝ පවසති. මේ හේතුවෙන් සිය ජීවනෝපාය අනතුරට වැටී ඇති බව ගොවීහු පවසති. වසර ගණනාවක් තිස්සේ රොන්මඩ එකතු වීම හේතුවෙන් වැව මුළුමනින්ම ගොඩවීමේ අවදානමට ලක්ව ඇත. වැව යටතේ කුඹුරු අක්කර 30ක් පමණ යල මහ දෙකන්නයේ වගා කරන බව ගොවීහු පවසති.
දෙකේකෑල්ල, තෙල්හිරියාව, සඳසිරිගම, පහේකෑල්ල, අධිරාණිගම, නුගගහවැව හා ඔරුගලයාය ආදී ගම්මාන ගණනාවක ජනතාව ස්නානය ආදී කටයුතු සඳහා වැව වෙත පැමිණෙති. මෙම සියලු ගම්මානවල ප්‍රයෝජනය සඳහා ඇති එකම වැව මෙය බව ද ගැමියෝ පවසති. ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා වැව තුළ තොටුපොළක් හෝ ඉදි කරදීමට මෙතෙක් කිසිවෙකු කටයුතු කර නොමැති බව ද ප්‍රදේශවාසීහු පවසති. ප්‍රදේශවාසියෙකු වන ආර්. නවරත්න මහතා මෙසේ අදහස් දැක්වූවේය,
“වැව මේ විදිහට තිබ්බොත් තව වැඩි දවසක් යන්ඩ කලින් සම්පූර්ණයෙන්ම ගොඩවෙනවා. ඒ කාලේ වැවට කියලා තිබුණේ ඕලු, නෙලුම් ගොල්ල විතරයි. දැන් නෙලුම් පඳුරු යට කරගෙන මහ කැලෑවක් මතුවෙලා තියෙන්නේ. අඩි දෙක තුනයි වතුර අල්ලන්නේ. රොන්මඩ පිරිලා වැව ගොඩවෙලා තියෙන්නේ. ගම්මාන ගාණක මිනිස්සුන්ගේ ප්‍රයෝජනේට තියෙන වැව මේ විනාශ වෙන්නේ. අඩුම තරමින් මිනිස්සුන්ට බැහැලා නාගන්ඩ තොටුපළක් හදලා දෙන්ඩ කෙනෙක් නෑ.”
වැසි කාලයට එකතු වන ජලය වැවට දැරිය නොහැකි වීමෙන් වැව් බැම්ම බිඳී යෑමේ අවදානමට ලක්ව ඇති බව ද ගොවියෝ පවසති. වැව ආශ්‍රිතව විවිධ ප්‍රදේශවලින් පැමිණෙන මත්ලෝලීන් බෝතල්, පොලිතීන් ආදි අපද්‍රව්‍ය අයාලේ අතහැර යෑම හේතුවෙන් වැව අවට දැඩි ලෙස අපවිත්‍ර වී ඇති බව ගැමියෝ පවසති. වසර ගණනාවකට පෙර වැව් තාවුල්ලේ පස් කපාගෙන ගොස් වැලි ලෙස සකස් කර අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වූ බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. දෙකේ කෑල්ල ගම්වාසී ආනන්ද ගලබොඩ මහතා මෙසේ පැවසීය.
“මේක ලස්සනට තිබ්බ වැවක්. මේ පැත්තටම මේ වැව සම්පතක්. ඒත් කාගෙවත් සැලකිල්ලක් නෑ වැව රැකගන්ඩ. එක එක ජවාරම්කාරයෝ කාලෙන් කාලෙට ඇවිත් වැව විනාශ කරනවා. නිලධාරින් ඒව බලං ඉන්නවා. මීට කාලෙකට කලින් වැවේ පස් කපාගෙන ගිහිල්ලා වැලි පෙරලා වික්කා. දැන් වෙලා තියෙන්නේ තාවුල්ලේ තැන් තැන්වල වළවල්. දැනටත් දෙයියනේ කියලා යල, මහ දෙකන්නේ කුඹුරු කරනවා වැවේ වතුරෙන්. මේ පාර තුන්වෙනි කන්නෙත් වපුරලා දැන් ගොයම පැහීගෙන එන්නේ. ඒත් මේ විදිහට තිබ්බොත් තව වැඩි කාලයක් කුඹුරු කරන්ඩ වෙන්නේ නෑ වැවේ වතුරෙන්.”
වැව නිසි ලෙස පිළිසකර කරදෙන ලෙස වගකිව යුත්තන් වෙතින් කොතෙක් ඉල්ලීම් කළ ද මෙතෙක් පලක් වී නොමැති බව ගොවීහු පවසති. වැවෙහි වැවී ඇති අහිතකර තෘණ සහ රොන්මඩ ඉවත් කර වැව පිළිසකර කොට දෙන ලෙස ඔවුහු වගකිව යුත්තන් වෙතින් ඉල්ලීමක් කරති. නුගගහවැව ගම්වාසී නිලන්ත කුමාර මහතා මෙසේ අදහස් දැක්වූවේය.
“මේ වැව රජ කාලේ ඉඳන් තියෙන වැවක් කියලා තමයි කියන්නේ. මේ පැත්තටම තියෙන එකම වැව මේක. හදිසියකට කෙනෙකුට නෙලුම් මලක් හරි කඩාගන්ඩ තියෙන්නේ මේ වැව විතරයි. දැන් වැව ගොඩවෙන්ඩ ඔන්න මෙන්න තියෙන්නේ. වැව බේරගන්ඩ මිනිස්සුන්ට වුවමනාවකුත් නෑ. නිලධාරින්ට වුවමනාවකුත් නෑ. සමහරු සවසට වැවට ඇවිල්ලා මෙතැන තියෙන ගස් යට අරක්කු බීලා බෝතල් කුඩු කරලා ඔහේ වැවට අතඇරලා යනවා. වැව ගැන කිසිම හැඟීමක් නෑ ඒ අයට.”