හිරියාල ආසනයේ, දේතිලිඅංග ගම්මානයත් දොඩම්ගස්ලන්ද ආසනයේ රිදීගම ඇතුළු ගම්මාන රැසක් යා කරමින් දැදුරුඔය හරහා සංගිලි පාලමක් ඉදි කිරීමට මුල්ගල තබා වසර 26ක් ගතවී ඇති නමුත් මේ දක්වා එම පාලම ඉදි නොවීම හේතුවෙන් ඔය දෙපස වාසය කරන පවුල් දහසක් පමණ මහත් දුෂ්කරතාවකට මුහුණ පා සිටිති.
පාලම ඉදි කිරීම සඳහා මුල්ගල තබා ඇත්තේ ගම්වාසීන්ගේ ආරාධනයෙන් එවකට සිටි මහා මාර්ග අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා විසිනි. ඒ 1999 වසරේදීය. එම මුල් ගල ද අද සොයාගැනීමටවත් නැත.
මේ නිසා රිදීගම නගරය පෙනි පෙනී තිබියදී එහි යෑම සඳහා කිලොමීටර් 20ක දුරක් ගෙවා ඉබ්බාගමුව, තල්ගොඩපිටිය, ලිහිණිවැහැර මාර්ගය ඔස්සේ ගමන් කිරීමට මුදුන්දූව, ඉබ්බාගමුව, හේනේගෙදර, දේතිලිඅංග ඇතුළු ගම්මාන රැසක මහජනතාවට සිදුව ඇත. එසේම ඔයෙන් එගොඩ රිදීගම ඇතුළු ගම්මාන රැසක මහජනතාවටද ඉබ්බාගමුව, මැල්සිරිපුර යන නගරවලට පැමිණීම සඳහා ඒ හා සමාන දුරක් ඒමට සිදුව තිබේ.
කාලයක් තිස්සේම මෙම ස්ථානයේ පාලමක් ඉදි කිරීමේ අවශ්‍යතාවය මාධ්‍ය මඟින් පෙන්වා දීමේ ප්‍රතිඵලයක් වශයෙන් කොළඹ ප්‍රදේශයේ එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිත පිරිසක් පැමිණ පාලම ඉදි කිරීමේ කටයුතු භාරගෙන ඒ සඳහා අවශ්‍ය ලක්ෂ ගණනක් වටිනා යකඩ ඇතුළු වෙනත් උපකරණ ගෙනැවිත් ඇති අතර, ඒවා තවමත් ඔය අද්දර තැනින් තැන ගොඩගසා තිබෙනු දැකිය හැකිය. එම සංවිධානය පාලම ඉදි නොකොට අත්හැර දමා ගියේ ඇයිද යන්න තමන්ට මහත් ගැටලුවක් බව ගම්වාසීහු පවසති.
“පාන්ගොල්ල දේතිලිඅංගේ සිට රිදීගම නගරයට ඇත්තේ කිලෝ මීටරයක පමණ දුරක්. මේ පළාතේ අයට කිලෝ මීටරයක දුර ගෙවන්න බස් රථ තුනක නැඟලා කිලෝ මීටර් 20ක දුරක් යන්න සිද්ධ වෙලා තිබෙනවා. දැදුරුඔයෙන් එහා පැත්තේ අයටත් දේතිලිඅංගට, ඉබ්බාගමුවට එන්න ඒ විදිහටම කරදර විඳිනවා.
ඔයේ වතුර අඩු කාලෙට නම් යන්න එන්න පුළුවන්. රජයෙන් පාලමක් හදලා දෙන්නෙත් නෑ. කුමන ආයතනයකින් හරි කමක් නෑ, මේ තියෙන යකඩ සහ උපකරණ භාවිත කරලා පාලම හදලා දෙනවා නම් අපි කාටත් පහසුවක් වෙනවා. ඒවා කැලේට යටවෙලා දිරාපත් වෙනවා. අපරාදේ” මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම්. මොහොමඩ් පවසා සිටියේය.