පුත්තලම මධ්‍යම අට්ටවිල්ලුව විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය ඉදිරිපිටදී ජාතික ජන බලවේගය පක්ෂයේ ආධාරකරුවකුට අමානුෂික ලෙස පහර දුන් බව කියන ස්වාධීන කණ්ඩායමක නායකයා ඇතුළු තිදෙනකු පෙරේදා (06) සවස පුත්තලම මූලස්ථාන පොලීසිය විසින් පුත්තලම මූලික රෝහලේ දි අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය සභාවට තරග වදින මෙම පහර දීමට සම්බන්ධ යැයි සැකකරන ස්වාධීන කණ්ඩායම් නායකයා, තවත් අපේක්ෂයකු හා එම කණ්ඩායමේ ආධාරකරුවෙකු බව පොලීසිය පවසයි.
මෙම ස්වාධීන කණ්ඩායම් නායකයා පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ අයෙකි.
ස්වාධීන කණ්ඩායම් නායකයා හා එම ස්වාධීන කණ්ඩායමේ තවත් අපේක්ෂකයකු ගමන් ගනිමින් තිබූ මෝටර් රථය තුළ පෙරේදා (06) දහවල් වනවිටත් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ස්ටිකර් අලවමින් තිබීමත් එය මධ්‍යම අට්ටවිල්ලුව ඡන්ද මධ්‍යස්ථානය පැවති ස්ථානය අසල රඳවා ගනිමින් තිබීම පිළිබඳව මාලිමා ආධාරකරු පොලීසියෙන් ප්‍රශ්න කිරීම හේතුවෙන් එම ස්ථානයේදී ඔහුට ස්වාධීන කණ්ඩායම් නායකයා ඇතුළු පිරිස පහර දී තිබුණි.
එසේ පහරකෑමට ලක්වූ මාලිමා ආධාරකරු මේ පිළිබඳව පුත්තලම මූලස්ථාන පොලීසියට පැමිණිලි කර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් වී ඇති බව පොලීසිය පවසයි.
ඉන්පසුව ස්වාධීන කණ්ඩායම් නායකයා ඇතුළු මෙම පහර දීමට සම්බන්ධ තිදෙනා තමන්ට ද පහර දුන් බව පවසා පුත්තලම මූලික රෝහලට ඇතුළත් වී තිබුණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධව පුත්තලම මූලස්ථාන පොලීසිය විසින් අදාළ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදු කර මෙම පහර දීමට සම්බන්ධ අදාළ ස්වාධීන කණ්ඩායම් නායකයා ඇතුළු අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සිදු කර රෝහල තුළ පොලිස් ආරක්ෂාව යටතේ රඳවා තැබීමට කටයුතු කර තිබුණි.