පළාත් පාලන මැතිවරණය පැවැත්වූ පෙරේදා (06) දින රාත්‍රියේ වැලිපැන්න ප්‍රදේශයේදී සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ පාක්ෂිකයන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සමගි ජන බලවේගයේ ආධාරකරුවකු රෝහල්ගත කර ඇති බව වැලිපැන්න පොලීසිය පවසයි.
වැලිපැන්න, හිජ්රා මාවත, පදිංචි මොහොමඩ් ජාබීර් මොහොමඩ් ජෙස්මින් නමැති 24 හැවිරිදි අයෙක් මෙසේ රෝහල්ගත කර ඇත.
මෙවර පළාත් පාලන මැතිවරණයේ මතුගම ප්‍රාදේශීය සභාවට වැලිපැන්න කොට්ඨාසයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ මුල්කැටිය, වැලිපැන්න පදිංචි මොහොමඩ් රම්සාන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව තම ආධාරකරුවන් පිරිසක් සමඟ රතිඤ්ඤා දල්වමින් මාර්ගයේ ගමන් කර ඇති අතර ඔවුන් වැලිපැන්න කොට්ඨාසයට ජාතික ජන බලවේගයෙන් තරග කළ මුස්ලිම් පාර, වැලිපැන්න ලිපිනයේ පදිංචි මොහොමඩ් රිල්වාන් අසාර් නමැති අයගේ නිෙවස අසලින් ගමන් කරමින් රතිඤ්ඤා දල්වමින් ගමන් කරන අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි මොහොමඩ් රිල්වාන් අසාර් ඇතුළු පිරිස සමඟ බහින්බස්වීමක් ඇතිවී එය දුරදිග ගොස් ගැටුමක් බවට පත්වී ඇත.
පසුව තමන්ට මොහොමඩ් රිල්වාන් අසාර් නමැති අය පහරදුන් බවත්, තමාට රෝහල්ගත වීමට අවශ්‍ය බවත් මොහොමඩ් ජාබීර් මොහොමඩ් ජෙස්මින් යන අය වැලිපැන්න පොලීසියට පැමිණ පැමිණිලි කර ඇත. ඒ අනුව පොලීසිය මඟින් අධිකරණ වෛද්‍ය පෝරමයක් ලබාගෙන නාගොඩ රෝහලට ඇතුළත් වී ඇත.