ඔලිම්පික් ක්‍රීඩක යුපුන් අබේකෝන් වසර පහකට පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් සහාය දිවීමේ තරගයකට සහභාගිවීම උදෙසා ඉතාලියේ සිට අද ඩුබායි වෙත පැමිණේ. ඩුබායි ක්‍රීඩා සංකීර්ණයේදී හෙට (9) පැවැත්වෙන ඩුබායි ග්‍රෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී ඔහු සමඟ ජාතික ශූර චමෝද් යෝධසිංහ ඇතුළු දේශීය මලල ක්‍රීඩාවේ ඉහළම කෙටි දුර ධාවන ක්‍රීඩකයෝ මේ මීටර් 100 සහාය දිවීමේ තරගයට එක් වෙති.
ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමට යුපුන් අබේකෝන්, චමෝද් යෝධසිංහ, මෙරන් විජේසිංහ, දෙනෙත් වීරරත්න හා චමෝද් දිසානායක යන ක්‍රීඩකයෝ සහභාගි වෙති. මීටර් 100 ඉසව්ව තත්පර දහයකට අඩු කාලයක් වාර්තා කළ එකම දකුණු ආසියාතිකයා වන යුපුන් අබේකෝන් 2019 සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහාය දිවීමේ තරගයකට සහභාගි වී නැත. 2019දී කත්මණ්ඩු නුවර පැවති දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේදී තත්පර 39.14ක කාලයකින් රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමේ සාමාජිකයෙක් වූ යුපුන් 2022දී බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී තත්පර 10.14කින් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
එම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ යුපුන් අබේකෝන් තවමත් මීටර් 100 ඉසව්වකට සහභාගි වී නැති අතර, ඔහු ඩුබායි ග්‍රෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියෙන් අනතුරුව මේ මස අගදී දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට ද තෝරාගෙන ඇත.
මේ අතර, අනිද්දා (10) චීනයේ ගුවැන්ෂුහි පැවැත්වෙන ලෝක සහාය දිවීමේ තරගාවලිය වෙනුවෙන් මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව් කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, සදෙව් රාජකරුණා, නිෂේන්ද්‍ර ප්‍රනාන්දු, සයුරි මෙන්ඩිස් සහ නදීෂා රාමනායක යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද ශ්‍රී ලංකාවෙන් පිටත්ව යනු ඇත.
කඩුලු පැනීමේ ක්‍රීඩක නදුන් බණ්ඩාර සහ දුර පැනීමේ ක්‍රීඩක සම්පත් මිරැන්ඩා චීනයේ චොංකිංහි පැවැත්වෙන 3 වන ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලියට තරග කිරීම වෙනුවෙන් මේ 11 වැනිදා චීනය බලා පිටත්වීමට සූදානම් වේ.