Home » රනිල් අවුරුදු තුනක රට සවාරි යන්න මිලියන 1027ක් වැය කරලා

රනිල් අවුරුදු තුනක රට සවාරි යන්න මිලියන 1027ක් වැය කරලා

සංචාර 23යි: ඇමැති නලින්ද කියයි

by mahesh
May 9, 2025 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

නියෝජිතයනුත් සංචාර 19ක් ගිහින්

වසර 2022 සිට 2024 දක්වා කාලය තුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ නිල විදේශ සංචාර සහ ජනාධිපතිවරයා නියෝජනය කරමින් නියෝජිතයන් සිදු කළ විදෙස් සංචාර සඳහා රුපියල් බිලියනයකට අධික මුදලක් (රුපියල් මිලියන 1027ක්) වැය කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මෙණෙවිය මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

2022, 2023 සහ 2024 වසර තුනක කාලය තුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ සංචාර 23ක් සිදු කර ඇත. ජනාධිපතිවරයා නියෝජනය කරමින් නියෝජිතයන් විසින් සංචාර 19ක් සිදු කර ඇති බව ද නලින්ද ජයතිස්ස මහතා අනාවරණය කළේය.

හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතා 2022 වසරේදී නිල සංචාර 4ක නිරතව ඇති අතර, ඒ සඳහා පුද්ගලයන් 63 දෙනකුගෙන් යුත් දූත පිරිසක් සහභාගි වී ඇත. ඒ සඳහා රජය රුපියල් මිලියන 129ක වියදමක් දරා ඇත.

2023 දී, සිදු කළ සංචාර 14 සඳහා නියෝජිතයන් 252ක් සහභිගි වී ඇති බව ද හෙතෙම පැවසීය. එම වසර සඳහා පමණක් වියදම රුපියල් මිලියන 577ක් වේ. 2024 දී, නියෝජිතයින් 111 දෙනකු සමඟ සංචාර පහක් සිදු කරන ලද අතර, ඒ සඳහා රුපියල් මිලියන 300ක් වැය කර ඇත.

ඒ අනුව 2022-2024 වසර 3ක කාලය තුළ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශ සංචාර 23ක් සිදු කර ඇත. එම සංචාරයන්වලට පුද්ගලයන් 426 දෙනකු ජනාධිපතිවරයාගේ නිල නියෝජිත කණ්ඩායම්වලට ඇතුළත් කර ඇත.

මෙම සංචාරවලට අමතරව, ජනාධිපතිවරයාගේ නියෝජිතයන් ලෙස පුද්ගලයන් 19 දෙනකු විදේශගත කර ඇත. ඒ සඳහා තවත් රුපියල් මිලියන 19ක පිරිවැයක් දරා ඇති බව ද හෙතෙම අනාවරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 වසරේදී විදෙස් සංචාර 4ක නිරත වී තිබෙනවා. 2023 වසරේ සංචාර 14ක් ද 2024 වසරේදී සංචාර පහක්ද සිදු කර තිබෙනවා. සියලු සංචාර සංඛ්‍යාව 23ක් වෙනවා. එම සංචාර පිළිබඳ තොරතුරුත් විමසනවා.

2022 වසරේදී එක්සත් රාජධානියට ගිහින් තිබෙනවා. දෙවන එලිසබෙත් රැජිනගේ ආදාහනයට සහභාගි වීමට. ජපානයේ හිටපු ජනාධිපතිවරයාගේ අවමඟුලට සහභාගි වීමට ජපානයට ගිහින් තිබෙනවා.

ආසායානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවට සහභාගි වීමට පිලිපීනය ගිහින් තිබෙනවා. හතර වැනි සංචාරය තමයි ලෝක නායක සමුළුවකට සහභාගි වීමට 2022දී සිදු කළ ඊජිප්තු සංචාරය.

2023 වසරේදී සංචාර 16ක් සිදු කර තිබෙනවා. තුන් වැනි චාල්ස් රජුයේ පදවි ප්‍රාප්තියට මහා බ්‍රිතාන්‍යයට ගියා. සිංගප්පූරුවට ගිහින් තිබෙනවා. එම සංචාරයේ අරමුණ පැහැදිලි නැහැ. ඒ වගේම එම වසරේ 3 වැනි සංචාරය ජපානයට ගිහින් තිබෙනවා, සමුළුවකට සහභාගි වීමට.

4 වැනි සංචාරය ලෙස ජපානයට ගිහින් තිබෙනවා. නව ගෝලීය සමුළුවකට සහභාගි වීමට ප්‍රංශයට ගිහින් තිබෙනවා. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලෙස ධුරය භාර ගැනීමෙන් පසු ඉන්දියාවට ගිහින් තිබෙනවා.

රාජකාරි සංචාරයක් ලෙස සඳහන් කර සිංගප්පූරුවට ගොස් තිබෙනවා. ජී 77 සමුළුවට සහභාගි වීමට කියුබාවට ගිහින් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සමුළුව සහභාගි වීමට නිව්යෝර්ක් ගිහින් තිබෙනවා.

2023 සැප්තැම්බර් 22 විශ්වවිද්‍යාලයක පැවැති උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියත් සමඟ එක්සත් රාජධානියට ගිහින් තිබෙනවා. ජර්මනියේ බර්ලින් ගෝලීය සමුළුවට සහභාගි වීමට ගිහින් තිබෙනවා.

චීනයේ පැවැති ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වීමට, මාලදිවයිනේ ආචාර්ය මොහොමඩ් මූෂු මහතාගේ පදවි ප්‍රාප්තියට සහභාගි වීමට, ඩුබායිවලට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති සමුළුවකට සහභාගී වීමට ගිහින් තිබෙනවා.

2024 වසරේදී නිල විදෙස් සංචාර 5ක් සිදු කර තිබෙනවා. එංගලන්තය, උගන්ඩාව, ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, ඉන්දියාවට වශයෙන් මෙම වසර කිහිපය තුළ විදසේ සංචාර 23ක නිරත වී තිබෙනවා.

සහභාගි වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ද විමසා තිබෙනවා. ඒ වගේම වියදම් වූ මුදල් ප්‍රමාණයන් විමසා තිබෙනවා. 2022 වසරේ සිදු කළ සංචාර 4ට පුද්ගලයන් 63ක් සහභාගි වී තිබෙනවා.

2024 වසරේදී සිදු කළ සංචාරයන් 14ට පුද්ගලයන් 252ක් ද 2024 වසරේ සිදු කළ සංචාර 5ට පුද්ගලයන් 111ක් වශයෙන් ද සහභාගි වී තිබෙනවා.

මෙම සංචාරවලින් රටට අත්වූ ප්‍රතිලාභ පිළිබඳව මම සභාගත කරනවා. මෙම සංචාරයන්වලට වැය වූ මුදල් පිළිබඳව ද ප්‍රශ්නය තුළින් විමසනවා. 2022 වසරේදී සිදු කළ සංචාර 4ට රුපියල් එකසිය විසිනව මිලියන තුන්සිය දහසය දහස් හත්සිය පනස් තුනක් වැය කර තිබෙනවා.

2023 වසරේදී සිදු කළ සංචාර 14 සඳහා පන්සිය හැත්තෑහත් මිලියන නවසිය හැටහතර දහස් තුන්සිය හැත්තෑ දෙකක් වැය කර තිබෙනවා. 2024 වසරේ සිදු කළ සංචාර 5 සඳහා තුන්සිය මිලියන හැටපන්දහස් අටසිය පනස් පහයි.

ඒ අනුව එම සංචාර 23 සඳහා වියදම් කර ඇති මුළු මුදල බිලියන එකක්. මිලියන එක්දහස් හතක්. බිලියනයකට වඩා වැඩි මුදලක් වැය කර තිබෙනවා.

එම සංචාරවලට අමතරව 2022-2024 ජනාධිපතිවරයා නියෝජනය කරමින් නියෝජිතයන් සිදු කළ සංචාර 19ක් තිබෙනවා. ඒවාටත් විශාල මුදලක් වැය කර තිබෙනවා. රුපියල් දහනව මිලියන අටදහස් හත්සිය අනූහතක් ලෙස වාර්තා වෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT