Home » රාජ්‍ය වෙසක් සැමරුමට සියල්ල සූදානම්

රාජ්‍ය වෙසක් සැමරුමට සියල්ල සූදානම්

by mahesh
May 9, 2025 1:00 am 0 comment

නෙරංජලා වික්‍රමසිංහ

බෞද්ධ ප්‍රබෝධය ඇති වන පරිදි සියලු ජන වර්ගවල සහභාගිත්වයෙන් යුතුව මෙවර රාජ්‍ය වෙසක් සැමරුම සිදු කිරීමට සියලු කටයුතු සූදානම් බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.

මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා වෙසක් සතිය ප්‍රකාශයට පත්කර තිබේ. මෙවර වෙසක් උලෙළේ තේමාපාඨය වන්නේ ‘භජේත මිත්‍තේ කල්‍යාණේ – බජේත පුරිසුත්තමේ’ (කළණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු) යන්නයි.

ශ්‍රී බුද්ධ වර්ෂ 2569ක් වන රාජ්‍ය වෙසක් මහෝත්සවය මැයි මස 10 දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී පැවැත්වේ. ඊට සමගාමීව වෙසක් සතිය තුළ දිවයිනේ සියලු විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් ආධ්‍යාත්මික සංවර්ධනයට මුල්තැන දෙමින් අර්ථවත් හා ඵලදායී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

ඊට අමතරව කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් තොරණ රැසක් ඉදි වෙමින් තිබෙන අතර, දන්සල් විශාල ප්‍රමාණයක් සංවිධානය කෙරෙමින් පවතියි.

වෙසක් සතියට සමගාමීව මැයි 12,13,14 යන දින තුනෙහි දිවයින පුරා ඇති සියලුම සත්ත්ව ඝාතකාගාර හා සුපිරි වෙ‍ෙළඳසල්හි අලෙවිකුටි ද ඇතුළත්ව සියලු මස් මාංස අලෙවිසල් වසා තැබීම හා දිවයින පුරා සියලුම සුරාසල්, මත්පැන් අලෙවි ස්ථාන හා සමාජ ශාලා ද වසා තැබීමට පියවර ගන්නා ලෙස රජය දැනුම් දී තිබේ. වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැඟිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් අපේක්ෂා කෙරේ.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ මඟපෙන්වීම අනුව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහ බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහාය ඇතිව වෙසක් උත්සවය අභිමානවත් අයුරින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කරනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT