Home » බලරහිත කරමින් රිට් ආඥාවක්
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම

බලරහිත කරමින් රිට් ආඥාවක්

by mahesh
May 9, 2025 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

ඉකුත් රජය සමයේදී මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එස්.එම්.පී. සූරියබණ්ඩාර මහතා පත්කිරීමට ගනු ලැබූ තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය ඊයේ (08) රිට් ආඥාවක් නිකුත් කළේය.

අදාළ තනතුර සඳහා 2024 මාර්තු මස 05 වැනිදා සිට බලපවත්වන පරිදි කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා පත්කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයාට නියම කරමින් රිට් ආඥාවක් ද නිකුත් කරන ලදි.

එසේම එම තනතුර සඳහා වෙනත් අයකු පත්කිරීම වළක්වන රිට් ආඥාවක් ද නිකුත් කරන ලදි.

අදාළ තනතුරට පත්වීම සඳහා තමන් සියලු සුදුසුකම් සපුරා සිටියදී එම තනතුරට එස්.එම්.පී. සූරිය බණ්ඩාර මහතා පත්කිරීම අභියෝගයට ලක්කරමින් කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම රිට් ආඥා නිකුත් කෙරිණ.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදි.

මෙම පත්කිරීම සිදු කිරීමේදී වගඋත්තරකරුවන් පත්වීම් පටිපාටිය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට විනිසුරු මඬුල්ල එහිදී තීරණය කළේය.

එම පත්වීම සිදු කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැණි බව තීන්දු කරන බව ද අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් මහතා අදාළ නියෝගයන් ලබා දෙමින් ප්‍රකාශ කළේය.

පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේ, තම සේවාදායකයා සිවිල් ඉංජිනේරුවරයකු වන අතර, ඔහු වසර 23කට ආසන්න කාලයක් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කළ පළපුරුදු සේවකයකු බව ය.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා තෝරාගැනීමට පැවැති සම්මුඛ පරීක්‍ෂණයේදී පෙත්සම්කරු ලකුණු 61ක් ලබාගත් බවත් ජනාධිපති නීතිඥවරයා විසින් එහිදී පෙන්වා දී තිබුණි.

එහෙත් අඩු ලකුණු ලබාගත් එස්.එම්.පී. සූරියබණ්ඩාර මහතා එම තනතුර සඳහා පත් කිරීමට ඉකුත් වසරේ මාර්තු 05 වැනිදා වගඋත්තරකරුවන් කටයුතු කර ඇති බව එහිදී අධිකරණයේ අවධානයට යොමු කර තිබුණි.

එම පත්කිරීම නීතියට පටහැණි බවට තීන්දු කර එය බලරහිත කරන ලෙස ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT