දශකයක කාලයක් පුරා සාර්ථකව හෘද සැත්කම් සිදු කර ඇති ආසිරි සෙන්ට්‍රල් රෝහලේ හෘද සත්කාර ඒකකය පසුගියදා ළමුන් සඳහා වන හෘද සැත්කම් වර්ගයක් වන සංජානීය හෘද රෝග සැත්කම් වැඩසටහන ආරම්භ කළේය.
මේ යටතේ සිදු කරන ලද පළමු Atrial Septal Defect (ASD) හෘද සැත්කම කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ සහ ආසිරි සෙන්ට්‍රල් රෝහලේ සේවය කරන විශේෂඥ හෘද උරස් ශල්‍ය වෛද්‍ය එම් එස් මුහුන්තන් මහතා (MBBS (Jaf), MD Surgery (Col), MRCS (Eng), MRCSEd) විසින් සිදු කරන ලදි.
විශේෂඥ නිර්වින්දන වෛද්‍ය අසිත දසනායක මහතා (MBBS, MD) මෙම සැත්කම සඳහා සිය විශේෂඥතාව සමඟින් දායකත්වය සැපයීය. මෙම සැත්කමේ වියදම, ශ්‍රී ලංකා රජය විසින් ලබාදෙන සුරක්ෂා රක්ෂණ සැලසුම හරහා සිදු කෙරුණි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ පොරොත්තු ලේඛනයේ දීර්ඝ කාලයක් රැඳී සිටීමට සිදු වී තිබූ මෙම දරුවාටත්, විශේෂයෙන්ම හැකි ඉක්මනින් සැත්කම සිදු කරගැනීම සඳහා වෙහෙස වුණු දරුවාගේ මවුපියන්ටත් ආසිරි සෙන්ට්‍රල් රෝහලේ මැදිහත් වීම සුවිසල් අස්වැසිල්ලක් විය.
“ඉතා අසීරු කාලයක් පසු කරමින් ඉන්න අවස්ථාවකදී අපේ උපකාරයට ඉදිරිපත් වූ ආසිරි සෙන්ට්‍රල් රෝහලේ නිලධාරීන්ට අපි හදවතින්ම ස්තූතිය පුද කරනවා. අපේ කෘතඥතාව වචනයෙන් විස්තර කළ නොහැකි තරම්” යැයි එම මවුපියෝ සිය අදහස් දක්වා සිටියහ.
සැත්කම් ක්‍රියාවලියේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය මුහුන්තන් මහතා පැවසුවේ රජයේ සෞඛ්‍ය සේවය හරහා සැත්කම් සිදු කරගැනීමට දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුවන රෝගීන් හට කල් නොයවා සැත්කම් සිදු කරගැනීමට අවස්ථාව සලසන මෙම වැඩසටහන ඔවුන් හට විශාල සහනයක් වන බවයි. එමෙන්ම මෙම සැත්කම් ආසිරි සෙන්ට්‍රල් රෝහලේ සිදු කරන ලද පළමු සංජානීය හෘද රෝග සැත්කම වුවද අත්දැකීම්වලින් පිරිපුන් රෝහල් කාර්යමණ්ලයේ දක්ෂතාව නිසා එය ඉතා සාර්ථකව සිදු වූ බව වෛද්‍ය මුහුන්තන් මහතා පැවසීය.
ආසිරි හෙල්ත් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය මංජුල කරුණාරත්න මහතා ආසිරි හෙල්ත් සමූහයේ දැක්ම අනුව මෙසේ අදහස් දැක්වීය, “ආසිරි හෙල්ත් සමූහයේ මෙහෙවර ලෙස ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍යය සේවාවක් ලබා දීම මගින් ශ්‍රී ලාංකික මහජනතාවගේ ජීවිතවල කැපී පෙනෙන පරිවර්තනයක් සිදු කිරීමයි. රාජ්‍ය අංශය සමඟ සහයෝගීතාවයෙන් සිදු කළ මෙම සාර්ථක සැත්කම ඉදිරියේදීත් මේ ආකාරයේ සහයෝගීතාවයකින් අපේ රටේ උපකාර අවශ්‍ය පිරිසකට උසස් තත්ත්වයේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ඉතා හොඳ අවස්ථාවක් විවෘත කර දීම ගැන අපි සතුටු වෙමු. එය ආසිරි හෙල්ත් සමූහයේ දැක්ම යථාර්තයක් බවට පත් කරගැනීමට අනගි සවියක් වනු ඇති”.