ගෝලීය තොරතුරු තාක්ෂණ සේවා වෙෙළඳපොළෙහි විශාලත්වය අමෙරිකානු ඩොලර් බිලියන 1114.22කි. එය 2030 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 2554.76 දක්වා ළඟාෙවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙරට තොරතුරු තාක්ෂණ අංශය වර්ධනය වෙමින් පවතින කර්මාන්තයකි. ආණ්ඩුවේ ඉලක්කය 2030 වන විට මේ ක්ෂේත්‍රයේ අපනයන ආදායමෙන් ඩොලර් බිලියන 5ක ඉලක්කයක් සපුරා ගැනීමයි. වසර 32ක පමණ කාලයක් මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික හා විද්‍යුත් තාක්ෂණික මෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට අදාළ ඉංජිනේරු සේවා අංශවල ව්‍යවසායකයෙකු ලෙස කටයුතු කරන චින්තක විජේවික්‍රම සමඟ කළ සංවාදයකි.
මෙවැනි ක්ෂේත්‍රයක් තෝරාගැනීමේ පසුබිම කුමක්ද?
මම උසස් අධ්‍යාපනය ලැබුවේ ගණිත අංශයෙන්, ඉන් අනතුරුවයි IT ක්ෂේත්‍රයට යොමුවුණේ. මම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය හැදෑරීම ආරම්භ කළේ අනූව දශකයේදී. මවුපියන්ගේ කැමැත්ත අනුව මෙරට විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමට නොහැකි වීම පිළිබඳව මා තුළ සියුම් කනගාටුවක් තිබුණා. ඔවුන් මා පිළිබඳව පැවති විශ්වාසය, මටත් යමක් කළ හැකි බව තහවුරු කිරීමට මට අවශ්‍ය වුණා.
මේ අතරෙදී උසස් අධ්‍යාපනය සඳහා අමෙරිකාවේ අවස්ථාව ඇති බව මට පැවසුවේ මගේ මිතුරෙක්. මවුපියන්ගේ අනුමැතිය ලබාගෙන මම ඒ සඳහා අවශ්‍ය ඉංග්‍රීසි භාෂා යෝග්‍යතා ආදී සුදුසුකම් ඉහළින්ම සැපිරුවා. මගේ තාත්තා මට මාස තුනක කාලයක් ඉගෙනීමට අවශ්‍ය වියදම් ලබාදීමට කැමති වුණා. ඒ වන විට මම අවුරුදු 19ක යෞවනයෙක්, මවුපියන්ට වඩාත් සමීප දරුවෙකු ලෙස හැදී වැඩුණු මම ඉගෙනීමට තිබුණු කැමැත්ත වගේම ජීවිතය දිනිය යුතුය යන අදිටනින් අමෙරිකාවේ අධ්‍යපනය ලැබීම සඳහා මවුරටින් පිටත් වුණා.
කොහොමද අමෙරිකාවේ ගත කළ ජීවිතය?
මම අධ්‍යාපනය ලැබුවේ Califoniya state university ආයතනයේ. මුල් මාසය දෙක මුදල් පිළිබඳව ගැටලුවක් නැති නිසා හොඳින් ගෙවී ගියා. ඒත් ඉන්පසුවයි අමාරු කාලය ආවේ. නමුත් මම අභියෝගය ජය ගත යුතුයි අදිටන් කර ගත්තා.
මගේ අධ්‍යාපන වියදම් වගේම එදිනෙදා වියදම් ආවරණය කරගැනීමට දවසේ පැය 11ක පමණ කාලයක් වැඩ කිරීමට සිදුවුණා. මගේ පළමු සේවා මුරය ආරම්භ වුණේ පාන්දර 02ට එය අවසන් වුණේ උදේ 07ට. උදේ කෑමෙන් පස්සේ නැවතත් 08 සිට සවස 02 වනතුරු වැඩ කරනවා. අධ්‍යපන කටයුතු සඳහා යොදාගත්තේ සවස 04 රාත්‍රී 10.30 අතර කාලය. university කාලසටහන පහසු ආකාරයෙන් තෝරාගැනීමට පහසුකම් ලබා දී තිබුණා. මවුපියන්ට මුදල් එවීම සඳහා හැකියාවක් නොතිබුණා වගේම මවුපියන්ගෙන් මුදල් ගැනීමට මගේ කැමැත්තක් තිබුණේ නෑ. මම ඒ නිසා වැඩ කිරීම වගේම අධ්‍යයන කටයුතු සමබරව කිරීමට උත්සාහ ගත්තා. ඇතැම් අවස්ථාවක සියල්ල අත්හැර දමාගසා ගෙදර යා යුතුයි නොසිතුණා නොවේ. එවැනි අවස්ථා මඟහැර විභාගයටත් හොඳින් කටයුතු කළා. ඒ නිසාම විශ්වවිද්‍යාලයේම අධ්‍යයන සහායකයෙකු ලෙස පසුව තාවකාලික රැකියාවක් ලැබුණා.
IT ක්ෂේත්‍රයේ වෘත්තිකයෙකු නොවී ඔබ ව්‍යවසායකයකු වී තිබෙනවා?
මම ශ්‍රී ලංකාවෙන් පිටත් වුණේ වසර 06කින් නැවතත් එන පොරොන්දුව දෙමාපියන්ට දෙමින්. ඒ අනුව 1984 පිටත්වූ මම 1991 නැවත මෙරටට ආවා. ඉන් අනතුරුව මට IT සහ විද්‍යුත් ක්ෂේත්‍රයේ රැකියාවක් ලැබුණා. මම ඒ ආයතනය තුළ කටයුතු කරමින් මෙරට තාක්ෂණික වෙළෙඳපොළ ආදිය පිළිබඳව අවබෝධයක් ලබාගත්තා. ඒ දැනුම නිසාම ආයතනයේ දියුණුවට යෝජනා කීපයක් ඉදිරිපත් කළා. ඒ යෝජනාවන් ගැන කළමනාකාරීත්වයේ අවධානයක් නැති බව මට වැටහුණා. මට වැටහුණා මගේ අදහස් ක්‍රියාවට නැංවිය හැක්කේ මගේම ව්‍යවසායකින් පමණක් බව, මා සතුව තිබුණේ රුපියල් ලක්ෂයක මුදලක් පමණයි. 1992දී Sala Enterprises ආරම්භ කළේ ඒ මුදලින්.
මෙරට විදත් හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වීමට ඔබට හැකි වී තිබෙනවා…
දකුණු ආසියාවේ බුද්ධිමත් ශ්‍රමිකයන් වෙසෙන රටක් ලෙසයි ලෝකය අපි පිළිබඳව තක්සේරු කරන්නේ. ඒ නිසාම ලෝක වෙළෙඳපොළට එක්වන ඕනෑම නවීන තාක්ෂණික උපකරණයක් මාසයක් වැනි කාලයකදී දැරිය හැකි මුදලකට මෙරට පාරිභෝගිකයාට හඳුන්වා දීමයි අපේ අරමුණ. අපේ ව්‍යාපාරයේ දැක්ම එයයි. අපේ ආයතනය මුලින්ම හඳුන්වා දුන්නේ ඉංග්‍රීසි සිංහල ඩිජිටල් ශබ්දකෝෂය. ඒ කාලේ ඒ ගැන විශාල උනන්දුවක් තිබුණා. ඉන් පසුව මුලින්ම පෙන් ඩ්‍රයිව් එක, චතූ කාඩ් එක, සිංහල අකුරු සහිත යතුරු පුවරුව වගේ කාලීන අවශ්‍යතා අනුව අවශ්‍ය විදත් හා සන්නිවේදන තාක්ෂණ උපකරණ රාශියක් වෙළෙඳපොළට ඉදිරිපත් කළා. එපමණක් නොවේ, සන්නිවේදන සේවා පුළුල් කිරීමටත් කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාවට මුලින්ම GIS සිතියමක් හඳුන්වා දුන්නේ අපි. අප ආයතනය යටතේ පිහිටුවූ SALA GIS, ආයතනය මේ සඳහා මාසයකින් GIS සිතියම නිමවා අවසන් කළා.
AI තාක්ෂණයෙන් කටයුතු කළ හැකි මවුසයක් නිමැවීමට ඔබ ආයතනය සමත්වී තිබුණා….
AI තාක්ෂණය ගෝලීය ප්‍රවණතාවක්. අපේ රටේත් ඒ ඇසුරින් කටයුතු කරන පිරිස දිනෙන් දින වැඩි වෙනවා. ඒ නිසාම AI තාක්ෂණයට අනුව කටයුතු කළ හැකි මවුසයක් සැකසීමට අපි කටයුතු කළා. භාෂා 100කින් පමණ කටයුතු කළ හැකි මේ උපකරණය නිසා කාර්යයන් බොහොමයක් වඩාත් පහසුවෙන් කරගැනීමට හැකියාවක් ලැබෙනවා. මෙම මවුසය මිලදී ගැනීමෙන් අනතුරුව තමන්ගේ පරිගණකය හා සම්බන්ධ කිරීමෙන් පසුව AI තාක්ෂණයට භාවිත කිරීමට හැකියාව ලැබෙනවා.
වසර 32ක කාලයක අත්දැකීම් අනුව රටේ සංවර්ධනයට මේ ක්ෂේත්‍රයෙන් කළ හැකි බලපෑම කෙබඳුද?
තාක්ෂණයෙන් තොර අනාගතයක් නෑ. සංවර්ධනයේ පළමු මාවත තාක්ෂණික ක්ෂේත්‍රයයි. තාක්ෂණික උපාංග බොහෝ විට ආනයනික වෙළෙඳාම සමඟයි බැඳී තිබෙන්නේ. නමුත් මේ ක්ෂේත්‍රයේ ලැබෙන බදු ආදායමට වඩා ප්‍රතිඅපනයනය සහ තාක්ෂණික උපාංග අඩු මුදලකට මිලදීගත හැකි වෙළෙඳපොළක් මෙරට නිර්මාණය කරගත හැකි නම් අනෙකුත් ක්ෂේත්‍රයන්ටත් ඉන් ප්‍රතිලාභ අත්කරගත හැකියි.
මේ ක්ෂේත්‍රයේ ශ්‍රම අවශ්‍යතාව කෙබඳු ද?
මගේ ආයතනයේ 100කට ආසන්න පිරිසක් සේවය කරනවා. තවත් වෘත්තිකයන් අවශ්‍ය වෙනවා. නමුත් ඒ සඳහා සුදුසු අය සොයාගැනීම දුෂ්කරයි. ඊට හේතුව මේ ක්ෂේත්‍රයේ වෘත්තිකයින් වැඩි පිරිසක් රැකියා සඳහා විදෙස්ගත වීම. එවැනි වෘත්තිකයෙක් නිර්මාණය කිරීමට ආණ්ඩුව වසර 10ක් 12ක් පමණ කාලයක් විශාල මුදලක් ආයෝජනය කරනවා. පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, මේ සෑම ක්ෂේත්‍රයක් සඳහාම වැය කර ගොඩනඟන බුද්ධිමතුන්, වෘත්තිකයින්ගේ සේවය ලබාගන්නේ
වෙනත් පිරිසක්. මේ තත්ත්වය වෙනස් වෙන්නේ එවැනි වෘත්තිකයින්ට සේවය කළ හැකි කර්මාන්ත පසුබිමක් ගොඩනැඟීමෙන් පමණයි.
බුද්ධිකා බ්‍රාහ්මණගේ